
යුරෝපයේ පදිංචියට ආපු මුල් දවස් වල මාව පුදුමයට පත් කල දෙයක් තමයි සතුන් හා මිනිසුන් අතර තියන සම්භන්ධය.
විශේෂයෙන්ම ගම් පලාත් වල කුරුල්ලො.. ලේන්නු.. හාවො වගේ සත්තු මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නෑ.
නගරෙ වුනත්….. ගේ කුරුල්ලො පරවියො මිනිස්සු වටේ කැරකෙනව කිසිම බයක් නැතුව.
කිසිම පොඩි දරුවෙක් සතෙකුට ගලක් ගහනව හෝ අල්ලන්න උන් පස්සෙ දුවනව දකින්න නෑ.
මං පුංචි කාලෙ අහල තිබ්බෙ ලංකාවෙ විතරයි සතුන්ට මේ තරම් ආදරෙන් සලක්නනෙ.. ඒ බුදු දහම නිසා කියල. නමුත් ඒක කොයි තරම් බොරුවක්ද කියල මට ටික කලක් යන්න කලින්ම වැටහුනා.
මගේ මිතුරියක් ඉන්නව නිතරම කැලෑ පාරවල් වල ඇවිදින්න කැමති.
එක සැරයක් අපි පොඩ්ඩක් ඇවිදින්න ගෙවල් පිටි පස්සෙ පොඩි ලඳු කැලෑ පාරක් දිගේ ඉහලට ගියා.
එයා මගදි නැවතිලා සාක්කුවේ තිබුනු තිරිඟු අහුරක් අල්ලට ගන්නව..ඊට පස්සෙ පාර අයිනෙ නැවතිලා මේ තිරිඟු අහුර අල්ල උඩ දිගාරිනව.
මම ඇහුව…….. ඔය මොකද කරන්නෙ..?
දැන් ඔන්න එයි පොඩි එකෙක් දෙකෙක් කෑ ගහගෙන..
මොනුන්ද.. ? පුංචි කුරුල්ලො බං.
මම හිනා වුනා… කුරුල්ලො ඔය තරම් මෝඩ නෑ.. උඹගෙ අත උඩට එන්න.

එහෙම කියල මොහොතයි ගියේ පොඩි කුරුල්ලෙක් ඇවිල්ල අතේ වැහුව.
පුදුමයි.. හරිම පුදුමයි… මේ පොඩි කුරුල්ලො මිනිස්සුන්ට බය නෑ.
“මේ කට්ටිය නම් මාව දන්නව.. නමුත් සාමාන්‍යයෙන් මේ පලාතෙ කුරුල්ලො පොඩි සත්තු මිනිස්සුන්ට බය නෑ….. උන් මොකටද බය වෙන්නෙ.? “
මෙහෙ කවුරුත් උන්ට හින්සා කරන්නෙ නෑ.
ඒ බය නැති කම.. මිනිස්සුන්ට තියන විශ්වාසය ඩී එන් ඒ මගින් පරම්පරාවට යනව. දවසක බලපන් මේ කිරිල්ලට ලැබෙන පැටව් උඹගෙ අතටත් ඒවි තිරිඟු අහුලන්න..
ඒක ඇත්තක්… කැලේ ජීවත් වෙන කුරුල්ලෙක් අතේ වැහුවාම පුදුම සංතෝශයක් දැනෙනව.
සත්තු ගැන අපි මොනවද දන්නෙ..
අපි අපි ගහ මරා ගන්නෙ කෑමට නෙවේ.. තරහට.
නමුත් සත්තු….. උන් උන් මරාගන්නෙ කෑමට මිසක් තරහට හෝ වෛරයට නෙවේ. බඩගිනි නැති සතෙක් තව සතෙක්ට හිංසා කරන්නෙ නෑ තර්ජනයක් නැති බව දැනුනොත්.
—————————————————–
මේ ගැන හිතද්දි ඈන්ගෙ කතාව නොලියාම බැහැ.
පොඩි එකෙක් මගෙ කණ ලඟින් ඉගිල්ලිලා ගියා ගමනක් යනව වගේ.
ඒ හාදයා මට ඉස්සරහින් තිබ්බ පයින් ගහේ අත්තක වහනව හදිස්සියක් නැතුව.
ඒ එක්කම මට ඇහෙනව රතු උරහිස් ඇති උකුස්සෙක් ( Red Shaulder Hawk) උගුර යටින් අමුතු සද්දෙන් හිමීට කෑ ගහනව.

මොකක්.. මේ පොඩි එකාට වැරදුනාද.. නැත්තං මං දකින්නෙ හීනයක්ද.. මං ගාවින් ඉගිල්ලිලා ගිය ගේ කුරුල්ල ( pinch) වහපු පයින් අත්තෙම එයා ලඟින්ම රතු උකුස්සෙක් වහල ඉන්නව..
ඒ විතරක් නම් මොකද.. මේ දෙන්න මූණට මුණ බලනව.
මේක දවල් හීනයක්ද..?
උකුස්සගෙ එක කටට ඇති මේ පොඩි ගේ කුරුල්ල
මේක හරියට පිලිහුඩුවෙකුයි මාළුවෙකුයි මූණෙන් මූණ බලන් ඉන්නව වගේ වැඩක්.
නෑ වෙන්න බැරි වැඩක්.
හොඳ වෙලාවට මගෙ අත්බෑගයේ කැමරාව තිබ්බෙ.. පිංතූර දෙක තුනක්ම ගත්ත.
මේ දෙන්න එක ලඟට වෙලා වාඩි වෙලා ඉන්නව හරියට එකිනෙකා සමාගමට කැමතියි වගේ.. දෙන්න අතර පරතරය අගල් තුන හතරක් ඇති.
සැරින් සැරේ මේ දෙන්න සැරේ එකිනෙකා දිහා බලනව.. “ආ මේ උඹනෙ”
“මොනවද තොරතුරු.? ” කියන්නා වගේ.
විනාඩි පහකට විතර පස්සෙ පුංචි එකා ඉගිල්ලිලා යන්න ගියා.
අනිත් හාදයා තවම ගහේ අත්ත උඩ.
පුදුමාකාර නැද්ද සොභා දහම..? අපි මොනවද දන්නෙ… ?
“සොභා දහම මාව පුදුම කරන එක නවත්තන්නෙ කවද්ද… ? ” මිනිස්සු..අපි.. හරි මෝඩයි.”
ඈන් මෙහෙම ලියනව.
ගේ කුරුල්ලා සහ රතු උකුස්සාගෙ කතංදරේ ඈන් බෝල්ඩ්වින්ගෙ ( Anne Baldwin) පිටුවෙ පලවෙලා තිබුනෙ 2020 ජූලි 17 වෙනිදා.
ආපහු සැරයක් ෆාබියන්ගෙ කුරුල්ලො මතක් වෙනව. ගෙයි ජනේලෙන් එලිය බැලුවම පේනව කෑමට ඇවිත් ඉන්න රොබින් කුරුල්ලො. .. කෑම දෙන්න පරක්කු මොකද අහන්න වගේ උන් සැරින් සැරේ මේ පැත්ත බලනව.
අපි.. මිනිස්සු මොනවද දන්නෙ.?


Leave a reply to Kapila Jinadasa Cancel reply