අකුරු වලින් මවන ලෝකය පුදුමාකාරයි.
අකුරු වලින් මවන පිටුවක් අතරෙ පිරිල තියන හීන හරි අපූරුයි.
අනූ ගනන් වල මුල් කාලෙ පත්තර කොල කෑල්ලක තිබුන ස්ටෝන් හෙන්ජ් ගැන පොඩි ලිපියක්. ඒක කියවල හිතින් මවාගත්ත ස්ටෝන් හෙන්ජ් ඇත්ත නිර්මාණයට වඩා ලස්සනයි කියල තේරුනේ ඊට අවුරුදු විසි පහකකට පස්සෙ.

අකුරු වලින් හීන මවනවවිතරක් නෙවේ සමහර අකුරු වලින් අපිට කියනව ඒ දකින හීන හැබෑ කරගන්න කියලත්.
ඒ නිසාමයි අකුරු කියන නම තෝර ගත්තෙ.

“විල්මා උපතින්ම රෝගී දැරියක්.. පෝලියෝ රෝගය වැලඳුන නිසා ඒ දැරියට ඇවිදගන්න බැරුව එක්තැන් වුනා. දොස්තර වරු කීවෙ විල්මා කවදාවත් ඇවිදින එකක් නෑ කියල.
ඒත් විල්මා ලෝකයේ වේගයෙන්ම දුවන කාන්තාව බවට පත්වුනේ ලෝක වාර්ථා තුනකුත් එක්ක.”
මේ කතාව මං කියෙවේ සාලයො ඔතාගෙන ආපු පත්තර පිටුවක තිබිල. මාළු ගඳ ගහන නිසා ඒ පත්තර කොලය හෝදල වේලෙන්න දැම්ම. පහුවදා ඉස්කෝලෙ ගිහින් ඇවිත් තමා ඒ කතාව කියෙව්වෙ.
සීනි ..තේ කොල.. පරිප්පු ..රතුලූනු ඔතාගෙන ආපු හැම කොල කෑල්ලක්ම කියවන්න පුරුදු උනේ අසූ ගනන් වල මුල් කාලෙමයි.
ඒ දවස් වල හැමදාම පත්තර ගන්න තරම් ආදායමක් මගේ දෙමව්පියන්ට තිබුනෙ නෑ.
මනහර.. සිව්දෙස.. මුතුහර වගේ සඟරා පුස්තකාල වලින් අරන් ඇවිත් කියෙව්වෙ පුදුම කෑදර කමකින්.
අහම්බෙන් අතට ලැබුනු රීඩර්ස් ඩයිජස්ට් සඟරාව කියෙව්වෙ පරන මලළසේකර ඩික්ශනරිය ලඟ තියාගෙන.
ලන්ඩනයේ බිග් බෙන්.. ..පැරිස් නගරයේ අයිෆල් කුළුණ ඇමේසන් ගංඟාව.. සහරා කාන්තාරය… පීසාහි ඇලවුණු කුළුන.. ගීසාහි පිරමිඩ් ගැන කියවද්දි මගේ හිත පුදුමෙන් පිරුනා.

පෙන්ගුවින්.. ඇනකොන්ඩා.. පැන්ඩා.. ඔටුවන් වගේ සතුන් ගැන කියවද්දි ඒ සත්තු ජීවත් වෙන පරිසරය ගැන පුදුම කුතුහලයක් ඇතිවුනා.
එදා හීන දැක්ක.. මේ තැන්වල නම් ඇවිදිනවමයි කියල. ඒ අසූ ගනන් වල මැද කාලෙ. අවුරුදු තිස් පහකට පස්සෙ තවමත් ඒ කියවපු ලිපි මතකයි.
එදා හීන දැක්ක හැම තැනකම වගේ ඇවිදින්න ඉඩ ලබාදෙන්න තරම් ජීවිතය මට සාධාරණ වුනා.
ඇවිදින්න විතරක් නෙවේ.. විඳින්න..ජීවත් වෙන්න.. වෙනස් සංස්කෘතීන් එක්ක මුහු වෙන්න .. විවිධ භාශා වලින් අදහස් හුවමාරු කරගන්න තරම් මේ සිහින දුර දිග ගියා.

ඇල්ප්ස් වගේම අන්දීස් කඳු දිගේ.. ඇටකාමා වගේම සහරා කාන්තාරය කෙලවරේ.. උතුරු මුහුදේ වගේම රතු මුහුදේ කරපු මේ සංචාර පුදුමාකාරයි. සමහර සංචාර වලදී මගේ දැනුම ගැන ලැජ්ජා වෙන්න සිද්ධ වුනා.
සංචාරය කරන්න පටන් ගත්තට පස්සෙ අපි පුංචි කාලෙ ඉගෙන ගත් සමහර දේවල් වැරදියි කියල වැටහෙනව.
ඒ එක්කම අපේ මනස විවෘත්ත වෙනව… අනෙකුත් ජාතීන්ට.. සංස්කෘතීන්ට ගරු කරන්න පුරුදු වෙනව.
අද වෙද්දි මහද්වීප හයක ..රටවල් හැට හතරක සංචාරය කරන්න මේ ලියන මට අවස්ථාව ලැබුන.
ඒක මහා ලොකු දෙයක් .. ආඩම්භර වෙන්න කාරණයක්.. පිනක්.. වාසනාවක් කියල මම හිතන්නෙ නෑ.
නමුත් ලංකාව වගේ රටවල බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ කියන එක කවුරුත් දන්නව.
ඒ නිසයි ඒ අත්දැකීම්.. අදහස් මුහුණු පොතේ එහෙමත් නැත්නම් ෆේස්බුක් එකේ බෙදාගන්න හිතුවෙ.
පහුගිය අවුරුදු එක හමාර තුල ලිපි තුන්සීයකට වැඩි ප්‍රමාණයක් ලියල පල කරා.
ඒ ලිපි වලට ලැබුනු ප්‍රථිචාර පුදුමාකාරයි.නමුත් ඒ ලිපි හා තොරතුරු ඈත ගම් දනව් වලට ගියාද කියල සැක සහිතයි.
ලෝකය ජීවත් වෙන්නෙ තාක්ශණික යුගයේ වුනත් ත්‍රී ජී හොයාගෙන ලංකාවේ පාසැල් දරුවන්ට ගස් නගින්න වුනු බව මම දන්නව.

ඒ නිසයි මේ ලිපි වලින් කොටසක් එකතු කරල සඟරාවක් පල කරන්න හිතුවෙ.
ඒ එක්කම සමාජ මාධ්‍ය හරහා ලියන ලිපි කියවන මගේ මිත්‍රයන් කීප වරක්ම මගෙන් ඉල්ලුවා මේ ලිපි එකතු කරල සඟරාවක් හෝ පොතක් පල කරන්න කියල. කවදාවත් ලේඛකයෙක් වෙන්න නොහිතපු මට මේක අළුත් අත්දැකීමක්.
නමුත් මේ ඉල්ලීම් අහක දාන්න හිතුවෙ නැහැ.
මේ සඟරාව පල කරන එකේ එකම අරමුණ ඈත ගම් දනව් වල ඉන්න දරුවන්ට ලෝකය ගැන යමක් කියාදීම මිස වෙන කිසිවක් නෙවේ.
දුප්පත් දරුවෙක්ට .. දැනුම පිපාසයෙන් පෙලෙන තරුණයෙක්ට මේ ලිපි වැදගත්වෙයි කියල හිතනව.ලංකාවෙ අද තියන තත්වයත් එක්ක සඟරාව පල කරන එක කවද වෙයිද කියන්න බෑ.
සඟරාවක් පල කරන අදහස පරක්කු වුනත් ලියපු ලිපි එකින් එක එකතු කරල බ්ලොග් එකක් කරන්න හිතුවෙ නිවාඩු පාඩුවේ කියවන්න කැමති හැම දෙනාම වෙනුවෙන්.
මේ වගේ ලිපි හරහා මම හීන දැක්ක… ඒ හීන හැබෑ වුනාට පස්සෙ තවත් කෙනෙක්ට ඒ ගැන කියල දෙන එක මගේ යුතුකම කියල හිතන නිසයි මේ බ්ලොග් එක ලියන්නෙත් සඟරාවක් පල කරන්න කල්පනා කරෙත්.

තණතුරක්.. ආදායමක්.. ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් මේ කිසි දෙයක් කරන්නෙ නෑ. නමුත් ඇතිවෙන්න බැනුම් ..චෝදනා එල්ල වෙනව මේ වගේ පර්යේශණාත්මක ලිපි ලියද්දි. උපන් තැන ගැන.. නම හා ජාතිය ගැන.. පුරවැසිය භාවය හා අධ්‍යාපන සුදුසුකම් ගැන අහන ප්‍රශ්ණ වලට මගේ නිහඬ පිලිතුර තමයි මේ ලිපි එකතුව.
“තමන් ගැන තමන් සතුටු නම් ලෝකයට ඔප්පු කිරීමට කිසිවක් නැත” කියන කාරනේ මම විශ්වාස කරනව.
මේ මුලු ලංකාවටම ඉතාම අමාරු කාලයක්.
නමුත් අමාරු කම් මැද්දෙ වුනත් හීන දකින්න ඕනෙ… ඒ හීන හැබෑ කරගන්න වැඩ කරන්න ඕනෙ.
අකුරු බ්ලොග් එකේ වගේම අකුරු සඟරාවෙත් අරමුණ වැටෙන් එහා ලෝකයක් තියන බව පෙන්නල දීමයි.
අකුරු හරහා ඒ ලෝකය දකින්නත්… ඒ අකුරු වලින් හීන නිර්මානය කරගන්නත් පොඩි උදව්වක් දීමයි මේ අකුරු කරනයේ අරමුණ.
ලෝකය ඔබට විවෘත්තයි.. ඔබ සූදානම් නම්.


Leave a reply to ekaushi777 Cancel reply