මේ මාතෘකාව ඉතාම සංවේදීයි. හේතුව ලංකාව ඉන්දියාව වගේ රටවල ක්‍රිකට් ක්‍රීඩාව සලකන්නෙ දේවත්වයෙන්.
ඒකෙ ඇති වරදක් නෑ. දුප්පත් පෝසත් .. ගැහැනු පිරිමි.. විවිධ දේශපාලන අදහස් දරන කවුරුත් එකට එකතු කරන හරි ලස්සන තැනක් තමයි ක්‍රිකට් පිටිය.
දවසක් මිතුරන් කීප දෙනෙක් එක්ක කතා කරමින් ඉන්දැද්දි මගේ ස්වීඩන් සගයෙක් ඇහුව “ කොහොමද මේ ක්‍රීඩාව සිද්ධ වෙන්නෙ .. බැලූ බැල්මට සංකීර්ණයි. ඒත් හැමෝම විනෝද වෙනව හැම නීතියක්ම තේරෙනව වගේ.”
අනිත් මිත්‍රයා කියනව “අතෑරල දාපං… උඹ ඉපදුනේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් දහයෙන් එකක නෙවේ නම් උඹට ඕක ජීවිතේට තේරුම් ගන්න බෑ “ කියල.
ඒකෙ ඇත්තකුන් නැතිවාම නෙවේ.

1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනන මැච් එක සජීවීව බලපු විදිහ තවම මතකයි. එදා රෑ එලි වෙනකල් බියර් .. සිංදු.. සාජ්ජ එක්ක විනෝද වුනේ ලෝකෙම දිනුව වගේ.
ඒත් පහුවෙනිදා ෆුට්බෝඩ් එකේ එල්ලිලා අමාරුවෙන් වැඩට ගියා.
අපි මීට කලින් ලිපි ගණනාවකම කතා කලා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කලාකරුවන් ක්‍රීඩා පිටි හා රංග පීඨයන් තමන්ගෙ රට හෝ ජාතිය මුහුණ දීල ඉන්න ව්‍යවසයනයන් ලෝකයට කියන්න යොදා ගත්ත ආකාරය ගැන.
හොඳම උදාහරණ අපිට දෙන්න පුළුවන් ඔලිම්පික් ක්‍රිඩා උළෙල වලින්.
1936 අවුරුද්දෙ ඉඳල 2021 අවුරුද්ද දක්වා නොකඩවාම සෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලකම කුමන හෝ රටක ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් තමන්ගෙ රටට හෝ සමාජයට වෙන අසාධාරනය ගැන ලෝකයට කියන්න මේ ක්‍රීඩා උළෙල යොදා ගත්ත.

1936 නාසි පාලනයට විරුද්ධව පෝලන්ත ක්‍රීඩිකාවන්.. ජෙසී ඕවන්ස් ඇතුළු ඇමරිකානු ක්‍රීඩකයන් තම විරෝධය පල කරා.
කළු ජාතිකයන් අප්‍රිය කල හිට්ලර්ට නැගිටල යන්න සිද්ධ වුනා ඔල්වරසන් හඬ මැද්දෙ ජෙසී ඕවන්ස් මීටර් සීය ඉසව්ව දිනද්දි. ජෙසීගෙ ජයග්‍රහනය වටේ ක්‍රීඩක ක්‍රීඩිකාවො ඔල්වරසන් දුන්නෙ හිට්ලර් කොයි තරම් කලු ජාතිකයන් අප්‍රිය කරනවද කියන එක දන්න නිසා.
සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවො තමන්ගෙ ජීවිතය ගැනවත් නොසිතා කළු පටි තමන්ගෙ හිස වටේ බැඳගෙන හිටියා.
විශේෂයෙන්ම 1968 අවුරුද්දෙ මෙක්සිකෝ නගරයේ පැවැත්වූ ඔලිම්පික් උළලේදී ඇමරිකානු කළු ජාතික ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් කළු පැහැති පටි හෝ බෙරේ තොප්පි පලදිමින්.. කළු අත්වැසුම් යොදා ගනිමින්.. මිට මෙළවූ අත ඉහලට ඔසවමින් ප්‍රසිද්ධියේම විරෝධය දැක්වූවා.

මීටර් 200 ඉසව්වේ ලෝක වාර්ථාව පිහිටවූ ටොමී ස්මිත් හා දෙවන තැන දිනාගත් ජුවාන් කාර්ලෝස්ගේ විරෝධය දැක්වීමත් එක්ක මේ පණිවිඩය ලෝකය පුරාම ගමන් ගත්තේ විදුලි වේගයන්.
ඒ ක්‍රීඩකයන් ආපහු ගම් රටවල් බලා යද්දි ගෙවල් ගිනි අරගෙන .. නෑදෑයෝ පවුලේ අය අතුරුදන් වෙලා. මීටර් 400 ජයග්‍රාහකයන් වූ ලී එවන්ස්.. ලැරී ජේම්ස්.. රොන් ෆ්‍රීමන් තුන්දෙනාම විරෝධය දැක්වූවේ අත්විය හැකි භයානක ප්‍රථිඵලය දැන දැනමයි.
මේ හරහා මුළු ලෝකයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට මහා විරෝධයක් එල්ල වුනා. කොයිතරම් දුරට කළු ජාතිකයන් තම නිදහස හොයා ගත්තද කියන එක වෙනම ප්‍රශ්ණයක්.
නමුත් බැරැක් ඔබාමා ජනාධිපති පුටුවේ ඉන්දවන්න තරම් ඒ අය ඉදිරියට ගියා.
ඔලිම්පික් වලට විතරක් මේ විරෝධතා දැක්වීම් සීමාවෙන්නෙ නැහැ.
මුලු ලෝකයම නරඹන පාපන්දු ශූරතාවලදී නරඹන්නන් මෙන්ම ක්‍රීඩකයන් තමන්ගෙ රටේ සිදුවෙන අසාධාරනය ලෝකයට කිව්ව.
1990 අවුරුද්දෙ කැමරුන් පාපන්දු කණඩායම තමන්ගෙ රටේ දේශපාලන දූශණය ගැන ලෝකයට කිව්වෙ කළු පටි බැඳගෙන. ඒ වසරේ ඔවුන් අර්ධ අවසන් වටය දක්වා ගමන් කරා.
බෙලරූස් ටෙනිස් ක්‍රීඩිකාවක් වූ වික්ටෝරියා අසරෙන්කා ( Victoria Azarenka) බෙලරුසියාවේ සිදුවෙන මාධ්‍ය මර්ධනයට විරෝධය දැක්වීම සඳහා කීප වරක්ම කළු ඇඳගෙන ක්‍රීඩා කලා.
ජෝර්ජ් ෆ්ලොයිඩ් සිද්ධියේදී සෙරීනා විලියම්ස් ක්‍රීඩා කලේ කළු පටි අත් දෙකේම බැඳගෙන.

ලෝක ප්‍රකට තුන් පිම්ම පැනීමේ ශූරියක් වන කොලොම්බියානු ජාතික කැතරීන් ඉබාර්ගුවෙන් සෝර්ස් (Caterine Ibargüen) තමන්ගේ රටේ කූඨ දේශපාලනයට එරෙහිව කීප වරක්ම කළු පටි හිසේ බැඳගෙන ක්‍රීඩා කලා.
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හෙනරි ඔලොන්ගා තමන්ගෙ රටේ දේශපාලන අසාධාරණයට විරුද්ධව හිසේ වගේම දෙඅතේම කළු පටි බැඳගෙන ක්‍රීඩා කලා.
ඇමරිකානු කෙටි දුර ධාවන ශූරී විට්නි ටේලර් ලිංගික අඩතේට්ටම් වලට විරුද්ධව කළු පැහැති ධාවන ඇඳුම් වලින් සැරසුනා.
2021 අවුරුද්දෙ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී යගුලිය විසිකිරීමේ රිදී පදක්කම දිනූ ඇමරිකානු රාවන් සවුන්ඩර්ස් ( Raven Sounders) තරඟා වලිය පුරාම සැරසිලා හිටියෙ යක්ශ මූනක් සහිත මුහුණු ආවරන වලින් වගේම හැනිබල් මාස්ක් එකකින්.

සමරිසි කාන්තාවක් වූ රාවන් තමන්ගෙ සහකාරියට වගේම අනෙකුත් සමරිසි කාන්තාවන්ට ඇමරිකානු භූමියේ සිදුවෙන අසාධාරණය ගැන විරෝධය පල කරන්නයි මෙහෙම කරේ.
මේ වගේ උදාහරණ දාස් ගණනක් සටහන් කරන්න පුළුවන්.
ශිෂ්ඨ ලෝකයේ මෙවැනි විරෝධය දැක්වීම් ඉතාම සාධාරණයි.
භාහිර ලෝකය මෙය ප්‍රථික්ශේප කරනව කියල හිතනවද.? නැහැ.
ඔවුන් මෙය ආදරයෙන් වැලඳගන්නව. මේ විරෝධය දැක්වීම් ගැන කතා කරනව. ඒ ගැන හොයල බලනව. සමාජයන් තුල කථිකාවන් ඇති වෙනව.
සංවෘත්ත හා පටු සමාජ ආකල්ප ඇති පුද්ගලයින්ගේ අදහස නම් ක්‍රීඩාව තුල මෙවැනි විරෝධතාවන් නොකල යුතුය යන්නයි.

ක්‍රීඩාව තුල පමණක් නොවේ… ලැබෙන ඕනෑම අවස්ථාවක.. ඕනෑම ක්ශේස්ත්‍රයක .. ඕනෑම වේදිකාවක අසාධාරණය ලෝකය හමුවේ කිව යුතුයි.
මෙය ශිෂ්ඨ ලෝකයේ පිලිගත් හා අනුමත ක්‍රමයක්. එය අනුමත නොකරන්නේ දේශපාලකයන් පමණයි.
සමාජ මාධ්‍යයේ මේ දවස් වල සමහරෙක් කියනව… මහා ලැජ්ජාවක් වෙන්නෙ.. ලංකාවෙ නම්බුව නැති වෙනවක්‍රිකට් තරඟයක් මැදදි බැනර් එකක් පෙන්නුවොත් කියල.
මිත්‍රවරුනි.. ලංකාවට නැති වෙන්න නම්බුවක් නැහැ.
මුළු ලෝකයම දන්නව ලංකාව බංකොලොත් වූ බවත් ..පෙට්‍රල්.. ගෑස් විතරක් නෙවේ ආහාර පවා මේ රටේ හිඟ බවත්.
මුළු ලෝකෙම දන්නව නිවැරදි කළමණාකරනයක් නොමැති කමින්.. වැරදි තීරණ මත.. තරඟකාරී රටාවට සූදානම් නොවීම මත.. දූශණය හා වංචාව හේතුවෙන් ලංකාව දිලිඳු දුගී රටක් බවට පත් වූ බව.
රූපවාහිනී සාකච්ඡාවකදි එක්තරා තරුණයෙක් කියනව “අපිට දේශපාලනය අදාල නැහැ. අපිට ඕනෙ ක්‍රිකට් මැච් එකක් බලල විනෝද වෙන්න” කියල.
ඒක එයාගෙ තීරණය…

” පන්දු කෙලින අතර ඉහල පාසැල් වල අමනයන්” පදපෙල ඒ තරුණයා අහල නැතිවාට සැක නෑ.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක 14 දක්වා ඉහල ගිය ඇලෙක්සැන්ඩර් දොල්ගපොලොව්. ( Alexander Dologopolove) ටෙනිස් අතෑරල යුක්‍රේණයට යනව තමන්ගෙ රට වෙනුවෙන් යුද්ධ කරන්න.
යක්ඛ පුතෙක් කියනව දේශපාලනය අපට අදාල නෑ කියල. – ඒ තමයි අපි ජීවත් වෙන ලෝකය.
ප්‍රධාන නගර අවට පොශ් යැයි සම්මත ඉහළ ආදායම් ලබන ඛාන්ඩයෙන් සමහරෙක් හිතාගෙන ඉන්නව ඒ අය ධනවත්.. රට බංකොලොත් වුනාට ඒ අයට ඒක අදාල නෑ. ක්‍රීඩා.. සංගීත හා නැටුම් අතරේ ඒ අයගෙ ඉහල පෙලේ සමාජය ආරක්ශිතයි කියල. ඒ අයට ලොකු මදි කමක් මේ අරගල .. උද්ඝෝශණ සිද්ධ වෙන එක.
අවාසනාවකට ඒ අසරණයින්ටත් මානුශීය ආධාර ලබාගන්න වෙන කාලෙ වැඩි ඈතක නෙවෙයි.
පහුගිය පස් වෙනිදා ජිනීවා නගරයට එකතු වුනු පිරිස හයසීයකට ආසන්නයි. මේ හැමදෙනාටම තුන්වේල පහසුවෙන්ම ලැබෙනව. වාසය කරන්න හොඳ පහසුකම් සහිත ගෙයක් දොරක් තියනව. ඉතා හොඳ වැටුපක් ලැබෙනව. කිසිම දවසක ඒ අයට පෝලිම් වල ඉන්න සිද්ධ වෙන්නෙ නෑ.
නමුත් අය හැතැප්ම දාස් ගානක් ගෙවාගෙන ..යූරෝ සිය දාස් ගාණක් වියදම් කරගෙන උද්ඝෝශණය කරන්න ආවෙ ඇයි.? ඒ තමන්ට කන්න නැති හින්ද නෙවෙයි. ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ට කන්න නැති නිසා.
අන්තර් ජාතික වශයෙන් දේශපාලන නම්බුව හා රටේ පෞඪ බව කතා කරන නෝනා මහත්තුරු නොදන්නවා වෙන්න පුළුවන් ලංකාවෙ විදේශ සේවාවන්හි එහෙම නම්බුවක් නැති බව.
සුදුසකම් ලබපු නිළධාරීන් අතලොස්ස නිසා විදේශ තානාපති සේවා යන්තම් දිවි රැකගත්තට මේ කාර්‍යාල වල බුරුතු පිටින් ඉන්නෙ දේශපාලන හිතවතුන් හා ඥාතීන් විතරයි.
කිසිම සුදුසුකමක්. .. භාශා දැනුමක් නැති මේ පුද්ගලයින් නිසා ලංකාව කොයිතරම් පහත් තත්වයකට පත් වෙලාද කියල දන්නෙ විදේශ වල පදිංචි පිරිස මිස ලංකාවෙ පදිංචි වෙලා ඉන්න අය නෙවේ.
මේ දේශපාලන අඳ බාලයන්ට දරා ගන්න බෑ විදේශ වල එකමුතු වෙන ලාංකිකයන් දැක්කම.
පහුගිය දා පැවැත්වූ උද්ඝෝශණයට එරෙහිවත් එක නෝනා කෙනෙක් ලියුමක් ඉදිරිපත් කරල තිබුන ජිනීවා නගරයේදී.
ඒ ලියුම් කෙලින්ම කුණු කූඩෙට යන්නෙ ස්විට්සර්ලන්තය කියන්නෙ නිදහස් රටක් මිස දූශිත දේශපාලකයින්ගෙ දඬු අඬුවට අහුවුනු රටක් නොවන නිසයි.
ඒ නෝනලාට මහත්තුරුන්ට පුළුවන් අවුරුදු උත්සවේ දෙහි ගෙඩිය හැන්දෙ තියාගෙන යන ක්‍රීඩාව හෝ ඉඳි කට්ටට නූල අමුනන තරඟ සංවිධායන කරන්න.
ඒ වයෝවෘද්ධ පරපුර තරඟ සංවිධාන ගැන බලාගෙන පාඩුවේ හිටියොත් යුරෝපා තරුණ පරපුර රට වෙනුවෙන් ඒ අයගෙ යුතුකම් ඉටු කරාවි. මේ නැහැදිච්ච නෝනලාට ලඟඳිම තරුණ පරපුරෙන් පාඩම් ඉගෙන ගන්න සිද්ධ වේවි තමන්ගෙ ආකල්ප වෙනස් නොකලොත්.

අනිත් අතින් මේ උද්ඝෝෂණය සංවිධානය කරන්නෙ දේශපාලන පක්ශයකට සම්භන්ධ නැති ශිෂ්‍ය ශිශ්‍යාවන් බව දැන දැනම මේ ප්‍රදේශයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුනේ සාමාජික සාමාජිකාවන් ලබා දීපු සහය ප්‍රශංසනීයයි.
ඔවුන් වගේම අනෙකුත් දේශපාලන අදහස් දරන අය ලංකාව වෙනුවෙන් එකට එකතු වීම යුරෝපයේ ලාංකිකයන් ලබපු ලොකු ජයග්‍රහණයක්.
ඒ එක්කම ලාංකීය විදේශ සේවාවන් ජාත්‍යන්තර ඉදිරියේ විහිළුවකට ලක්වෙන්නෙ ඇයි කියල හිතා ගන්න පුළුවන් තණතුරු හා පුද්ගලයින්ගේ ඥාති සබඳතා දිගා බැලුවම.
මේ අයට අපහාසයක් නෙවේ. නමුත් ලංකාවෙ මිනිස්සුන්ට සාධාරණ අයිතියක් තියනව මේ ගැන ප්‍රශ්ණ කරන්න . හේතුව ඒ දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදලින් තමයි මේ නෝනා මහත්තුරු වැටුප් ලබන්නෙ.කාට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ අය සුදුසුකම් නිසා පත්කරා නෙවේද කියල. බැසිල් රාජපක්ශ මුදල් අමාත්‍ය විදිහට පත් කරන්න තිබූ සුදුසුකම් අනුව මේ අයටත් සුදුසුකම් තියෙන්න පුළුවන් කියන එක තමයි ඒකට උත්තරය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ කවුරු හෝ නිළධාරියෙක් මේ සටහන කියවනව නම් හිතන්න පුළුවන් ඔවුන් විශාල සේවයක් ක්‍රිකට් හෝ අනිකුත් ක්‍රීඩාවන්ට කරනව කියල.
නමුත් ලංකාවෙ වාර්ථා තියපු ක්‍රීඩක ක්‍රීඩිකාවො යුරෝපයට හෝ ඇමරිකාවට එද්දි ඔබලා කිසිම දෙයක් සංවිධානය කරන්නෙ නැහැ.
ඒ දුප්පත් ක්‍රීඩක ක්‍රීඩිකාවො ගුවන් තොටුපල වල.. හෝටල් ඉස්සරහ අතරමං වුනාම උදව් කරන්නෙ මේ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයො මිස විදේශ හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීන් නෙවෙයි.
ඔබේ අමාත්‍යාංශ වල නිළධාරීන් ඉන්නෙ සාප්පු සවාරියේ හෝ වැව් ඉවුරක විනෝද වෙමින්.
ඒ නිසා කරුණා කරල ක්‍රීඩාවේ නම්බුව හෝ විදේශ ආයතන වල කාර්‍ය භාරය ගැන කතා කරන්න එපා.
ලංකාවෙ පවතිණ තත්වය බැලුවිත් පවතීන පීඩනය හමුවේ සුළු හෝ විනෝදයක් ලබන්න තරුණ පරපුරට අවස්ථාවක් තිබිය යුතුයි.. නමුත් තමන් උනුදිය හැලියක පීනන කකුළුවන් බව නොසිතීම කණගාටුදායකයි.
ඔවුන් ප්‍රීතිඝෝශා කරන තැනට ලඟම ගෙදරක තාත්ත කෙනෙක් කෑම උයන්න.. ඇඳ කඩල ඒ ලී කෑලි දර විදිහට පාවිච්චි කරන්න ගත්ත බව හෝ දැනගෙන සිටිය නම් ඒ ඇති.
කාට හරි කියන්න පුළුවන් ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයන් බයයි තමන්ට සංචිතයේ තැන නැති වෙනවට කියල.
ඒක ඇත්ත… සැබෑ වීරයන් බිහි වෙන්නෙ කලාතුරකින්. හෘද සාක්ශියට කන්දෙන මිනිස්සු හැම විටම බිහි වෙන්නෙ නෑ.
තමන්ගෙ නිවස ගිනිබත් වෙන බව දැන දැනම… තමන්ගෙ ඥාතීන් පහර පිට පහර කන බව දැන දැනම ටොමී ස්මිත් ලෝකයක් ඉදිරියේ විරෝධය පෙන්නුවා.
අනිත් අතින් ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු විරෝධය දැක්විය යුතුයි කියල බල කරන්න බෑ. ඒ විරෝධය හිත ඇතුලෙන් සැබෑවටම පැමිණිය යුතුයි.
එහෙම නොකලයි කියල ඒ අයට චෝදනා කරන්න අපිට බෑ.
“තමන් හතරේ පහරක් ගහද්දි ඔල්වරසන් දෙන තරුණයා ගෝල්ෆේස් පිටියේදී පහර කාල කෑ ගහන සද්දෙ ක්‍රිකට් ක්‍රීඩකයාට ඇහෙන්නෙ නැත්තං එතන ලොකු ගැටළුවක් තියනව.”
නමුත් අපිට ඒකට චෝදනා කරන්න බෑ. මේ සමාජය නිර්මාණය වෙලා තියෙන්නෙ ඒ විදිහටයි.
ක්‍රීඩකයන් හෝ නළු නිලියන් හැමෝම මගට බහින්නෙ නෑ ඒ අයට අසාධාරණයක් වෙනකල්.
නමුත් පාරවල් දිගේ අරගල කරන තරුණ තරුණියන් කෑ ගහන්නෙ ඒ අයට වෙන අසාධාරනයට වෙනුවෙන් නෙවේ මුළු සමාජයටම සිදුවෙන අසාධාරනය වෙනුවෙන් බව මේ අය අමතක කිරීම කනගාටුදායකයි.
“I guess the only time most people think about injustice is when it happens to them.” ― Charles Bukowski, Ham on Rye
මම හිතන්නෙ භහුතරයක් මිනිසුන් අසාධාරනය ගැන හිතන්නෙ ඔවුන්ට අසාධාරණයක් වූ අවස්ථාවක විතරයි. – චාර්ල්ස් බුකොවුස්කි.
පහුගිය දවසක යුරෝපයේ ඉන්න ශිෂ්‍යාවක් කියපු කතාවක් මතක් කරන්න ඕනෙ අන්තිම වශයෙන් ..

“මම අරගල කරන්නෙත්.. කෑ ගහන්නෙත් මට කන්න නැති නිසා නෙවේ… ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ට කන්න නැති නිසයි..
ඔබ නිහඬ නම් ..ඔබ අරගලයට විරුද්ධ නම් ඒ ඔබට ඇති වරප්‍රසාද නැති වෙන නිසයි.”
07.07.2022. Geneva.

Leave a reply to imash kaushalya Cancel reply