කතරගම දෙවියන් හා කිරි වෙහෙර…

ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලබන මුල් කාලයේ මම මගේ ගුරුවරයෙකුගෙන් ඇහුව “ ඇයි පාසැල්වල ආගම් ඉගැන්වීමක් නොකරන්නෙ.? විද්‍යාව වගේම ආධ්යාතමයත් කුඩා දරුවන්ට වැදගත්.. “ මම කියනව.
“තරුණයා.. ආධ්‍යාත්මය හා ආගම් කියන්නෙ වෙනස් විශයයන් දෙකක්. “
(Spirituality and religionස් are completely two different subjects ).
“ආගම් පාසැල් වල උගන්වන්වන්නෙ නැත්තෙ දරුවන්ව අතරමං කරන්න අපි අකමැති නිසා. මම කුඩා කාලයේ සමහර පාසැල් වල ආගම ඉගැන්වුවා.”
“මෙහෙම හිතමු.. එක ගුරුවරයෙක් කියනව දෙවියො ලෝකය මැව්ව, මිනිසුන්ව මැව්ව ආදම් හා ඒව හරහා… සාදු වරුන් අහසින් වඩිනව කියල.. දෙවියන් වෙනුවෙන් සටන් කරොත් අහසෙ තියන ලෝකෙකදි කන්‍යාවන් හත් දෙනෙක් ලැබෙනව කියල. ඒ ආගම්.”
“අනිත් ගුරුවරය කියනව බිග් බෑන්ග් හරහා විශ්වය නිර්මාණය වෙනව.. තවත් ඒ හා සමාන සොයාගැනීම් ඇතිවෙන්න පුළුවන්… .. පරිනාමයේ ප්රථිඵලයක් ලෙස හෝමෝ සේපියන්ස්ල නිර්මානය වෙනව… ගුරුත්වාකර්ශනය නිසා මිනිසෙකුට හැකියාවක් නෑ ස්වාභාවිකව අහසෙ පාවෙන්න” කියල.
මොකද වෙන්නෙ..? පරස්පර ඉගැන්වීම් වලින් දරුවො අතරමං වෙනව. අපි ඒ අයට උගන්වන්නෙ විශ්වාසයන් නෙවේ.
විද්‍යාව. ඒ අය වැඩිහිටියො වුනාට පස්සෙ ඒ අයට පුළුවන් පෞද්ගලිකව ආගම් ඉගෙන ගන්න හෝ ආගම් තේරුම් ගන්න.”
ඒ මම ලබපු උත්තරය.
මේ ඇදහීම් ..විශ්වාස හා ජීවන ක්‍රමය මේ වගේ සරල ලිපි මාලාවකින් විස්තර කිරීම ඉතාම අසීරුයි.
නමුත් එය කල යුතු වන්නේ ලාංකික සමාජය කොයිතරම් දුරට බෞද්ධ ඉගැන්වීම් ජෛන හා හින්දු ආගම් සමග පටලාවාගෙන තියනවද කියල ප්‍රශ්ණ කරන්න අවශ්‍ය නිසා. අනිත් අතට සංස්ක්රිත භාශාවේ වචන හා යෙදුම් විවිධ භාශාවන්ට පරිවර්තනය කෙරෙද්දි අදාල භාශාවේ සංස්කෘතික හා ආගමික බලපෑම ඒ තුලට ඇතුලත් වීම මගාරින්න ඉතාම අපහසුයි.
ඒ නිසා වඩා සංකීර්ණ ඉගැන්වීම් හා ගැඹුරු අර්ථ පැත්තකින් තියල තව දුරටත් උත්සාහ කරමු යම් අදහසක් ගන්න.
හින්දු ඇදහීම් වල අවසාන බලාපොරොත්තුව මොකද්ද ? දවසක් මම හින්දු පූජකයෙකුගෙ ඇහුව.
පූජකයෙක් කීවට ඔහුව හඳුන්වන්නෙ යෝගි කෙනෙක් විදිහට. යෝගි කෙනෙක් කියන්නෙ යෝග ශාස්ත්‍රය ප්‍රගුණ කරමින් ඒ ඉගැන්වීම් අනුව ජීවත් වෙන ගුරුවරයෙක්.. සත්‍ය සොයා යන්නෙක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. ( Seeker for Higher state of consciousness )
නමුත් යෝග ඊට වඩා සංකීර්ණ බොහොම රසවත් මාතෘකාවක්. උදාහරණයක් විදිහට බ්‍රහ්ම චර්යා හෝ ධ්‍යාන මුද්‍රාව අයිති වෙන්නෙ මේ යෝග ඉගැන්වීම් වලට.
“හින්දුන්ගේ පරමාර්ථය මෝක්ශ ” යෝගි උත්තර දෙනව. මෝක්ශ කියන්නෙ ලංකාවෙ වැඩි දෙනෙක් තේරුම් ගන්න ආකාරයට මෝක්ශය හෝ ස්ථානයක් නෙවෙයි. මෝක්ශ එක්තරා තත්වයක්. සදාකාලිකවම විශ්වය හෝ කොස්මෝස් සමග එකතුවීම විදිහටත් මේ තත්වය අර්ථ දක්වන්න පුළුවන්.
“සෑම කෙනෙක් තුලම දෙවියෙක් දකින්න නම් තමන්ගෙ අභ්‍යන්තරය හා භාව අවධි කරන්න ඕනෙ. ඒ අවධි වීම තුල තමන්ට තමන්ව හමුවෙනව. ඒක ආධ්‍යාත්මික චාරිකාවක්” යෝගි සාදු තවදුරටත් කියනව.
“මෝක්ශ” ලබා ගැනීමට නම් “අර්ථ” හා “කර්ම” තුල “ධර්මයට” අනුව ජීවත් වීම හින්දුන් අනුගමනය කල යුතු මූලික මාර්ගයයි. මේ වචන වලින් අදහස් වෙන්නෙ මොකද්ද.?
ධර්ම.. ( පිලිපැදිය යුතු හා අනුගමනය කල යුතු ..යුක්ති ගරුක ඉගැන්වීම්)
අර්ථ.. ( සාර්ථකත්වය.. සමාජයේ පිලිගැනීම.. නිවැරදිව ජීවත්වීම)
කාම .. ( කාමය භුක්ති විඳීම)
මෝක්ශ.. ( ජීවිත චක්‍රය අවසානයේ භ්රහ්මන් හා එකතු වීම).
ධර්මය අනුගමනය කිරීමට නම් පහත දැක්වෙන අංග හයෙන් මිදෙන්න ඕනෙ කියල හින්දු ආගමේ උගන්වනව. මෙන්න මේ කරුණු පැහැදිලි කරන්න මේ අය යක්ශයන්.. දෙවියන්.. භූතයන්.. රජ වරුන් .. කුමාරියන් වගේ විවිධ චරිත පාවිච්චි කරනව.
මොනවද මේ අංග හය..
කාම – කාමයේ ඇලී ගැලී ජීවත් වීම.
ක්‍රෝධ- වෛරය හා තරහ තුල ජීවත් වීම.
මෝහ – බැඳීම් හා අයිති කරගැනීම් තුල ජීවත්වීම. ( බලය හා මිනිසුන් අයිති කර ගැනීම)
මාධ – ආඩම්භරය.
ලෝභ- ලෝභ වීම හා අයිති කරගැනීමේ ආශාව
මත්සර්ය- ඊර්ශ්‍යාව.

ධර්ම උපයෝගී කර ගනිමින් මෙන්න මේ අංග හයෙන් මිදීම තුලින් මෝක්ශයට ලඟා වෙන්න පුළුවන්.
මේ ඉගැන්වීම් පැහැදිලි කරන්න මේ හින්දු ග්රන්ථ රචකයන් යොදා ගන්න දෙවියන් ගැන අපි සරලව තේරුම් ගන්න උත්සාහ කරමු. සාමාන්‍ය පිලිගැනීමක් තියනව හින්දු ඇදහීම් තුල දෙවියන් මිලියන තුන්සිය තිහක් එහෙමත් නැත්නම් දෙවියන් තිස් තුන් කෝටියක් ඉන්න බවට.
මේ තරම් දෙවියන් පිරිසක් ඉන්නෙ දෙවියන්ට හැඩයක්.. පාටක්.. වයසක් නැති නිසාත් ඔවුන්ට හෝ ඔහුට සෑම තැනකම සෑම හැඩයකින්ම පෙනී සිටින්නට ඇති හැකියාව නිසාත් බව විචාරකයන් කියනව. වඳුරන්..නාගයින්.. එළ දෙනුන් වැනි සතුන්ගේ සිට අමනුශ්ය පෙනුමක් තියන දෙවියන් පවා සිටිනුයේ සෑම මිනිසෙකුටම.. සතෙකුටම දේව වේශයක් ආදේශ කිරීමේ හැකියාව ඇති නිසා බව මගේ උගත් මිතුරෙක් කියනව.
බ්‍රහ්ම සහ බ්‍රහ්මන් වෙන් වෙන්ව හඳුනා ගන්න ටිකක් පැටලිලි සහිතයි. ඒකට හේතුව හැම දෙවියෙක්ම සංකල්පයක් හෝ බලයක් කියල හඳුන්වන හින්දු ආගමිකයින් අපිට හමුවෙන නිසා. එහෙම නම් බ්‍රහ්මන් විශ්වය හෝ බලය වෙද්දි බ්‍රහ්ම හිස් හතරක් තියන දෙවියෙක් වෙන්නෙ කොහොමද කියන පැනය අපිට අහන්න පුළුවන්..
බ්‍රහ්මන් කියන්නෙ විශ්වය… බලය.. පැවත්ම හෝ හැම වස්තුවකම .. ජීවියෙකුගේම එකතුව. සම්සාරයෙන් නිදහස් වීම කියන්නෙ බ්‍රහ්මන් හා සදාකාලික එකතුවීම ලෙස අපි කලින් අදහස් කලා. ඒ වගේම විශ්වය හෝ ස්වභාව ධර්මය භ්රහ්මන් ලෙසත් හින්දුන් හඳුන්වනව.
බ්‍රහ්ම විශ්ණු හා ශිව

මහා භ්‍රහ්මයා හෙවත් භ්‍රහ්ම– මෙයා විශ්වයේ නිර්මාණ කරු විදිහට හැඳින්වෙනව. ( බ්‍රහ්ම විශ්වය මැවූ හෝ නිර්මාණය කල බවට තියන මතය ගෞතම සිද්ධාර්ථ ප්‍රථික්ශේප කරනව) භ්රහ්මට හිස් හතරක් ඇති බවත් එයින් අදහස් වන්නේ වේද ග්රන්ථ හතර හා විශ්වය පසු කරන යුග හතර බව හින්දුන්ගේ විශ්වාසයයි. භ්රහ්මගෙ අතේ තියන පොත හෝ පුස්කොල පොත හරහා දැනුම සංඛේතවත් කරනව. බ්‍රහ්ම සියුස් ලෙස දකින ග්‍රීක වරුන් විතරක් නෙවේ බ්‍රහ්ම කියන්නෙ නෝවා ලෙස අදහස කරන ආර්මේනියන් වරු පවා මට හමුවෙලා තියනව. මේ වරදවා වටහා ගැනීමක්ද.. කවුද හරි කවුද වැරදි කියන ගැටළුව දෙස නෙවේ අපි බැලිය යුත්තේ… මේ සංකල්ප කොයිතරම් සංස්කෘතීන් හා රටවල් හරහා විවිධ අර්ථකථන තුල විහිදී ඇතිදැයි යන්න ගැන විමසිලිමත්වීමයි වැදගත්.
සරස්වතී- දැනුම හා ඉගැන්වීම් සරස්වතී නියෝජනය කරනව ( කලාව ලෙසත් පසු කාලීනව අර්ථ දක්වනව). සරස්වතී මහා බ්‍රහ්මගෙ බිරිඳ විදිහටත් හින්දුන් විශ්වාස කරනව.
විශ්ණු – වර්ථමානය.. රැක ගැනීම හා පාලනය . ( බ්‍රහ්ම විසින් මවන ලද විශ්වය පාලනය කරනුයේ විශ්ණු විසින්). දකුණු අතේ තියන භූමරංගය ( Chakra) වගේ ආයුධයෙන් කියන්නෙ ධර්මය පිලි නොපදින අයට දඬුවම් දෙන බවත් වම් අතේ තියෙන හක් ගෙඩියෙන් ජයග්‍රහනය හෝ දිනුම පෙන්නුම් කරනව. “ක්‍රිශ්ණ” “රාමා” හෝ ” නරසිම්හ” කියන්නෙ විශ්ණුගෙ විවිධ ස්වරූප හෙවත් අවතාර විදිහටත් හින්දුන් විශ්වාස කරනව. ( ඒ අනුව බලද්දි විශ්ණු දෙවියන් හා රාවණා කියන්නෙ පරස්පර.. ප්‍රථි විරුද්ධ චරිත දෙකක්).
විශ්ණුගෙ දෙපැත්තෙන් කාන්තාවන් දෙන්නෙක් ඉන්නව.එක්කෙනෙක් ලක්ශ්මී. අනිත් එක්කෙනා භූ දේවි. ලක්ශ්මි ධනයට හා වස්තුවට අධිපති වෙද්දි භූ දේවි පොලව හෙවත් පසට අධිපති වෙනව.
( ලක්ශ්මි වෙනුවෙන් විශාල දේවාල කෝවිල් ප්‍රමාණයක් මැවෙද්දි භූ දේවි අමතක කරන්නෙ ඇයි කියන ගැටළුව අපිට ඉතිරිවෙනව).
ශිව. යුග අවසානයේ ශිව විශේෂ නැටුමක් නටන බවත් ඒ හරහා විශ්වය විනාශ වෙන බවත් හින්දුන් විශ්වාස කරනව.

ශිව. ශිව කියන්නෙ අවසානයේ හෝ විනාශයේ දෙවියන්. ( බ්‍රහ්ම විසින් මවන ලද විශ්ණු විසින් පාලනය කෙරෙන විශ්වය විනාශ කරන්නෙ ශිව විසින්). ශිවගෙ නලල මැද තියන තෙවෙනි ඇස මගින් ලෝකයේ සත්‍ය දකින බවත් ඒ ඇස යම් කෙනෙක් ඉදිරියේ විවෘත්ත කලොත් ඕනෑම අයෙකුගේ මුහුන දැවී යන බවත් හින්දුන් විශ්වාස කරනව. “චක්‍ර” හෝ “යුග” අවසානයේ විශ්වය විනාශ කිරීමේ වගකීම තියෙන්නෙ ශිවට. බොරුව.. අයුක්තිය.. මවාපෑම.. වගේ දේ විනාශ කිරීමේ හැකියාව තියෙන්නෙත් ශිවට. කාලි යුගය ( කලි යුගය විදිහටත් හැඳින්වෙනව) අවසානයේ ශිව විශේෂ නැටුමක් නටන බවත් ඒ හරහා විශ්වය විනාශ වෙන බවත් හින්දුන් විශ්වාස කරනව. පාර්වතී හා සාති කියනේ ශිවගෙ පෙම්වතියන් දෙදෙනා හෝ භාර්යාවන් විදිහට හඳුන්වන්න පුළුවන්. ශිව දෙවියන්ගෙ දරුවො දෙදෙනා තමයි ඝනේශ් ( අලි හොඬක් සහිත පුද්ගලයා) හා මුරුගන් හෙවත් ස්කන්ධ කුමාරයා ( කතරගම දෙවියන් විදිහට හඳුන්වන චරිතය).
ඝනේශ අවහිරතා දුරු කිරීමේ දෙවියන් (Remover of obstacles.) ලෙස සලකද්දි මුරුගන් යුද්ධයට හා ගැටුම් වලට අධිපති දෙවියන් ලෙස හැඳින්වෙනව.

ඝනේශ් කියන්නෙ ශිව හා පාර්වතී දෙපලගේ පුත්‍රයා වුනත් ඒ බව නොදන්නා ශිව ඝනේශ්ගෙ හිස ගසා දානව. ඒකට හේතුව පාර්වතී ස්නානය කරමින් ඉන්න අවස්ථාවෙ නිවෙසට ඇතුල්වීමට ශිව විසින් තම පියාට ඉඩ නොදීම. මීට සමාන වෙනත් පුරාවෘත්ත දකින්න පුළුවන්. නමුත් අපි ජීවත් වෙන ලෝකය තවම අහිංසකයි අසාමාන්‍ය කෘතිම ලක්ශණ තියන සිරුරු වන්දනා කරන්න තරම්.
පසුව ඒ ගැන කණගාටුවට පත් ශිව හිමාල වනයේ සිටි ඇතෙක් මරල ඇතාගෙ හිස ගනේශ්ගෙ සිරුරට සවි කල බව හින්දු ග්රන්ථ වල කියවෙනව. (මේ සම්භන්ධව වෙනත් ආකාරය් කතන්දර හා විශ්වාස රාශියක් දකින්න පුළුවන් )
කතරගම දෙවියන් විදිහට ලංකා සමාජයේ වැඳුම් පිදුම් වලට ලක්වෙන්නෙ ස්කන්ධ කුමාරයා. ස්කන්ධ යුද්ධයට හා ගැටුම් වලට අධිපති. කතරගම කිරිවෙහෙර වඳින ගමන් ලාංකිකයන් කතරගම දෙවියන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගන්නව.. බාර හාර වෙනව.
කිරි වෙහෙර බෞද්ධ දර්ශණයේ උද්දේශික චෛත්‍යයක්. බෞද්ධ දේශණා අවිහිංසාවාදී හා සාමකාමීයි. නමුත් ස්කන්ධ කුමාරයා හෙවත් කඳ යුද්ධයට අධිපති. මේ දෙක අතර තියන පරස්පරතාව අතර අතරමං වෙන්නෙ කවුද කියන ප්‍රශ්ණය අපිට අහන්නම වෙනව.
අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාරයා දෙසට. මේ වන්දනාව හෝ ඇදහීම ලංකාවට ලැබෙන්නෙ ද්‍රවිඩ ජනයා හරහා.
දමිළ සාහිත්‍යයේ විශේෂ ස්ථානයක් හිමිවෙන තොල්කාප්පියම්- Tolkāppiyam ( ආදි කාලීන කාව්‍ය සංග්‍රහයක්) හි සඳහන් වෙනව ස්කන්ධ කුමාරයාට බිරින්දෑ වරු දෙදෙනෙක් ඇති බවත් දේවසේනා දිව්‍ය ලෝකයේදීත් වල්ලි මනුශ්‍ය ලෝකයේදීත් ආශ්‍රය කරන බවට. දමිළ සංගම් සාහිත්‍යයේත් ස්කන්ධ කුමාරයා.. දේවසේන හා වල්ලි ගැන සඳහන් වෙනව.
මගේ දමිළ මිත්‍රයෙක් කියනව ඩ්‍රාවිඩියන් වරු හින්දුන්ගෙන් වෙනස් වෙන ප්‍රධාන කරුණක් වෙන්නෙ තරුණ තරුණියන් අතර අතිවන ආදර සම්භන්ධතා පිලිගැනීම,ඒ හරහා කලාවු චාරිත්‍රය ඉශ්ඨ වීම බව.
(Tamil kalavu). දිව්‍යලෝකයේ දේවතාවියක්ට වඩා මිනිස් දුවක් හා ආදරයෙන් බැඳීම ඔවුන් දේවත්වයෙන් සලකන්නෙ මේ හරහා බව අනුමාන කරන්න පුළුවන්.
ඒ එක්කම ඇයි දමිළ සමාජය සියළුම දෙවිවරුන් අභිබවා ස්කන්ධ කුමාරයාට ප්‍රධාන තැන දෙන්නෙ කියල කෙනෙක්ට ප්‍රශ්ණ කරන්න පුළුවන්.
බැලූ බැල්මට සියළුම දෙවි දේවතාවන් හින්දු සමාජය විසින් අත්පත් කරගෙන .. අයිති කරගෙන වන්දනා මාන කිරීම මත … ඊට විරුද්ධව හා සමගාමීව ස්කන්ධ කුමාරයා දමිළ සංඛේතයක් ලෙස ඔවුන් බාවිතා කිරීමේ වැඩි සම්භාවිතාවක් තියනව.
කෞමාර හෝ කුමාර – ආර්යන්ගේ ස්කන්ධ කල්ට් එක වගේම දමිළ ජනයාගේ ස්කන්ධ ඇදහීම මේ යටතේ අපිට දකින්න පුළුවන්.
මීට අමතරව මේ කුමාර් කල්ට් එකේ තවත් උප කොටස් තියනව.
සත්වික්. මුරුගන් පෙනී සිටින එක එක ආකාර අනුව මේ කල්ට් නිර්මාණය වෙලා තියනව. උදාහරනයක් විදිහට එක මුහුණක් හෝ ඔළුවක් තියන අඩ නිරුවතින් හෙල්ලයක් දරාගෙන ඉන්න ස්කන්ධ කුමාරයා අයිති වෙන්නෙ සත්වික් කොටසට . එයාට අපි කියනව ශ්‍රී ස්කන්ධ ස්වාමි කියල.
රාජසික්.– මොණරෙකු පිට ඉඳගෙන ඉන්න ස්කන්ධ කුමාරයා අයිති වෙන්නෙ රාජසික් කියන කොටසට.
තමාසික්– විවීධ ආයුධ ත දරාගෙන සටන් කරන රෞද්‍ර මුහුණක් තියන ස්කන්ධ කුමාරයා මේ කොටසට අයිති වෙනව.
ස්කන්ධ කුමාරයාගේ විවිධ ස්වරූප





එක් එක් චිත්‍ර ශිල්පීන් අනුව එක් එක් වර්ගයේ මුරුගන් වරු ඉන්න්ව. එක් එක් ගම්මාන අනුව විවිධ වර්ගයේ ස්කන්ධ කුමාරවරු ඉන්නව. මේ වගේ දාස් ගානක් නිර්මාණය කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නෙ භක්තිකයන්.. අදහන පිරිස් හා කතංදර ගොතන්න පුළුවන් දක්ශයන් විතරයි.
දමිළ පොත පත පරිහරණයෙන් එක් දවසක් තුල වෙනස් විදිහේ ස්කන්ධ කුමාරයන් විසි දෙනෙක් නිරීක්ශණය කිරීමට හැකිවීම තුලිනුයි මේ නිගමනයට පැමිනුනේ.
කතරගම දේවාලයද ..පංසලද මුලින්ම ගොඩ නැගුනෙ කියන ගැටළුව එන්නෙ මහා වංශයේ සඳහන් වන කාරණයක් නිසයි. මහාවංශය උපුටා දක්වමින් විවිධ ලේඛණ වල සඳහන් වෙනව ගෞතම බුදුන් විසින් කතරගමදී මහසෙන් රජුට දහම් දෙසූ බව.
නමුත් වඩා වැදගත් වන්නේ මේ ප්‍රදේශයේ ස්කන්ධ කුමාර දේවාලය හරහා හින්දු හෝ දමිළ බැතිමතුන් වර්ධනය වීම වලක්වන්න බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කිරීම විය හැකියි.
හේතුව කතරගම දේවාලය… ජය ශ්‍රී මහා බෝධියෙන් වැඩමවූවා යැයි කියවෙන බෝධිය පිහිටන්නෙත් ස්කන්ධ කුමාර දේවාලය අසලමයි. තුන්වෙනි වරට බුදුන් ලංකාවට වැඩි අවස්ථාවේ කතරගමට යාමට මීට වඩා වැදගත් හේතුවක් හොයාගන්න අමාරුයි. බුදුන්ගේ කේශ ධාතු තැන්පත් කිරීමට යුද්ධයට අධිපති දෙවියන්ගේ දේවාල භූමිය තෝරා ගැනීම ගැන පුදුමයට පත් වන්නේ මේ ලියන මම විතරද.? ඊට ප්රථිවිරුද්ධව අපිට කියන්න පුළුවන් බෞද්ධ පුද බිමක් වූ කතරගම දමිළ ජනයාටත් වන්දනාමාන කිරීම සඳහා ස්කන්ධ කුමාර දේවාලය ඉදිකල බවට.
එතකොට නාථ.. සමන්.. උපුල්වන්.. රාසිහ දෙවියන් කෝ කියල කෙනෙකුට අහන්න පුළුවන්. හින්දු ආගම අනුව යමින් ඉන්දියානු උප මහද්වීපයේත් ඉන් පිටත් දෙවියන් මැවෙනව. රජ කෙනෙක්.. ප්‍රසිද්ධ ඇමතියෙක්.. යුධ සෙනෙවියෙක්.. නළුවෙක්.. ක්‍රිකට් ක්‍රීඩකයෙක්… වගේ ඕනෑම කෙනෙක් පසු කලෙක දෙවියෙක් ලෙස අදහන්න පුළුවන්. ඒකට කාගෙන්වත් සීමාවක් තහණමක් නැහැ. ඒ නිසා ලංකාවට ආවේණික දෙවිවරු වගේම විවිධ නගර වලට.. ගම් වලට.. කඳු වලට විතරක් නෙවේ ඇල දොල වලට අධිපති දෙවියන් අපිට දකින්න පුළුවන්.
හින්දු ආගමේ ප්‍රභේද තියෙනවද කියල කෙනෙක්ට අහන්න පුළුවන්.
සමහර හින්දු ඉගැන්වීම් වලට අනුව වන්දනාව හා අධ්‍යාත්මික සත්‍ය සෙවීම විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
ඥාන යෝග හා භක්ති යෝග විදිහටත් මේ පාසැල් දෙක හඳුන්වනව.
චරිත නැත්තං අයිකොන් වන්දනාව අයිති වෙන්නෙ භක්ති යෝගි කියන කොටසට.මේ භක්ති යෝගි කියන කොටසෙත් ප්‍රධාන ඇදහීම් පංති හෙවත් කල්ට් ගණනාවක් තියනව.
ශ්‍රී ලංකා සමාජයේ වඩාත්ම ප්‍රසිද්ද මේ භක්ති යෝගි කියන කොටස. මේ පාසැලේ ප්‍රධාන ඇදහීම් ඛාන්ඩ හතරක් අපිට දකින්න පුළුවන්.
විශ්නවාස් ( වෛශනවාස්). – විශ්නු දෙවියන් ඇදහීමේ හා අනුගමනය කිරීම
ශිවනවාස් – ශිව දෙවියන් ඇදහීම.
ස්මාර්තාස්– මහා භාරත .. රාමායනය වැනි වීර කාව්‍ය .. ඉගැන්වීම් හා කතාන්දර අනුගමනය කරන කොටස.
ඝනේශ්.. දුර්ගා..සූර්යා.. ශිව.. හා විශ්ණු අවතාරය ඇදහීම මේ ස්මාර්තාස් කොටසට අයිති වෙනව. ( ලංකාවෙ බෞද්ධ හා හින්දු කොටස් බොහොමයක් මේ ස්මාර්තාස් කොටසට අයිති අය විදිහට උපකල්පනය කරන්න පුළුවන් ).
ශක්තාස්– මහා දේවි හෙවත් ශක්ති දේවිය අදහන කොටස. දුර්ඝා.. පාර්වතී හෝ කාලි විදිහට හඳුන්වන්නෙත් මේ චරිතයමයි. ශිව දෙවියන්ගේ භාර්යාවන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෙස පාර්වතී ගැන අපි ඉහත සඳහන් කලා.
අපිට ආපහු සැරයක් ග්‍රීක සාහිත්‍යයට යන්න වෙනව.
ග්‍රීක හා ඉන්දියානු සංස්කෘතිය බොහොම ගනුදෙනු කරනව ක්‍රිස්තු පූර්ව 500 -100 අතර කාලයේ. ඉන්දියාවට ගල් කැටයම් තාක්ශණය හඳුන්වා දෙන්නෙ ග්‍රීකයන් විසින් බවට පිලිගත් මතයක් තියනව. අපි මීට කලින් කතා කරා ග්‍රීක දෙවිවරුන් රෝම දෙවිවරුන් බවට පත්වූ ආකාරය. මේ විදිහටම ඉන්දියානු දේව චරිතත් රෝම සංස්කෘතියට ඈඳාගත් බවට අපිට සාක්ශි හමුවෙනව.
මේකට හොඳම උදාහරනයක් තමයි පොම්පෙයි ලක්ශ්මී. පොම්පෙයි නගරය කියන්නෙ රෝම අධිරාජ්‍යයට අයිති බොහොම සංවර්ධිත නගරයක්. ක්‍රිස්තු වර්ශ 79 දී විසූවියස් ගිනි කන්ද පුපුරා යාමෙන් මේ නගරය සම්පූර්නයෙන්ම විනාශ වෙනව. පසු කාලීනව මේ නගරයේ නටඹුන් අතරේ හොයා ගන්නව ලක්ශ්මී දෙවඟනගේ පිලිමයක් . මේ පිලිමය යක්ශණී.. අප්සරා හෝ යක්ශි විදිහටත් හඳුන්වනව. ඒ එක්කම අතීනා හා වීනස්ගේ ශරීර ලක්ශන මේ පිලිමය හා එකතු වී අති බවට තවත් මත පලවෙනව.



ලොව පලමු බුදු පිලිමය ග්‍රීක ලක්ශණ සහිතව නිර්මානය වෙද්දි හින්දු දෙවිවරු ග්‍රීක දේව සාහිත්‍යයේ වෙනත් නම් වලින් දකින්න සිටීම පුදුම උපදවන සුළුයි. භ්‍රහ්ම.. විශ්ණු හා ශිව කියන හින්දු දේව ත්‍රිත්වය ග්‍රීක පුරාවෘත්ත වල සියුස් හේඩ්ස් සහ පොසෙයිදොන් බවට පත්වෙනව.
රාමායනය හා තෝර් යුද්ධය එක සමානයි…
ඉන්දියානු කයිලාශ පර්වත ග්‍රීක ඔලිම්පස් බවට පත්වෙනව. හැම විශයකටම දෙවියෙක් හෝ දේවියක් සිටීම මේ සංස්කෘතික දෙකේම සමානයි.
හින්දු ආගමේ ක්‍රිශ්ණා ග්‍රීක සහිතයේ ආචිල් බවට පත්වෙනව.
(උදා හරණයක් විදිහට මේ දෙදෙනාටම ඊතල වදින්නෙ පාදයේ පහල කොටසට. මේ දෙදෙනාගෙම පාදයේ වළලුකර කොටස ශරීරයේ දුර්වලම ස්ථානය බව සඳහන් වෙනව)
බ්‍රහ්ම – සියුස්. (ඉන්ද්‍ර – සියුස්.)
විශ්ණු – හේඩ්ස්ම
මහේශ්වර -පොසෙයිදොන්.
සාර්වාර්- සෙබරුස්.
කාමදේව – කුපිඩ් (අනංගයා).
සීතා- පෝර්සෙෆෝන්.
විශ්ව කර්ම – හෙපයෙස්ටුස්.
ඊ ලගට අපි අහන ප්‍රශ්ණය තමයි අවතාර් හෝ අවතාරය කියන්නෙ මොකද්ද කියල. හින්දුන් විශ්වාස කරන විදිහට විශ්වයේ සිදුවිය යුත්තෙ යුක්තිය. යුක්තිය ඉටු නොවන අවස්තාවල කුමන හෝ දෙවිකෙනෙක් මිනිස් හෝ සත්ව වේශයකින් පෘථිවියට එනව අදාල ප්‍රශ්ණය විසඳන්න. මෙන්න මේ චරිතයට අපි කියනව අවතාර් කියල.
හනුමන් කියන්නෙ ඒ වගේ අවතාරයක්.
හින්දු ආගමේ හෝ හින්දු ජීවන ක්රමයේ කුල ක්‍රමයට වැදගත් තැනක් හිමිවෙන බව ඉතාම ප්‍රසිද්ධ කාරණයක්.
බ්රාහ්මන හෝ භ්‍රහ්ම කුලය. – සියළුම පූජකයන් හා ආගමික ශාස්තෲවරු.
ක්ශාස්තීය කුලය. – පාලකයන් හෝ යුධ විරුවන්. ( මේ අය රජවරු හෝ සිටුවරු කියලත් අර්ථ දක්වන්න පුළුවන්)
වෛශ්‍ය කුලය– වෙලෙන්දන්.
ශුද්‍ර කුලය.– කම්කරුවන්.
භගවත් ගීතාව හා රිග් වේදය යන ග්රන්ථ දෙකේම මේ කුල ක්‍රමය ගැන කතා කරනව.
හින්දු සමාජයේ වගේම භාහිර ලෝකයත් විශ්වාස කරනව මේ කුල ලැබෙන්නෙ උපතින්ම කියල. නමුවත් භගවත් ගීතාවේ මෙන්න මෙහෙම දෙයක් සඳහන් වෙනව.
” මා විසින් කුල ක්‍රමය නිර්මාණය කලේ සමාජයේ නිවැරදි පැවැත්මට හා හැකියාවට අනුව වෘත්තීයන් හෝ ජීවන ක්‍රමය හැඩ ගැස්වීම පිනිසයි.” – ක්‍රිශ්ණා.



රිග් වේදයේ සඳහන් වෙනව භ්රහ්මගේ හිසෙන් භ්රාහ්මණයන්ද.. දෑත් වලින් කශ්ස්ත්රීයන්ද.. පාදයේ උඩ කොටසින් වෛශ්‍යයන්ද… පාදයේ පහලම කොටසින් ශුද්‍ර කුලයද නිර්මාණය කල බව.
නමුත් කුලය තීරණය වෙන්නෙ උපතින් නෙවේ.. කුලය තීරණය වෙන්නෙ ඒ ඒ පුද්ගලයන්ගේ හැකියාව මත හා හැසිරීම මත. ඒ අනුව කුලයකින් කුලයකට මාරු වීමේ හැකියාව මිනිසාට තියනව. මෙහෙම කියන්නෙ ක්‍රිස්තු පූර්ව අටවන සියවසේ ලියවුනු මනු නීතිය එහෙමත් නැත්නම් මනුස්ම්රති නම් හින්දු ග්‍රන්ථයේ.
(මිනිසා බ්‍රාහ්මනයෙකු හෝ වසලයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙනි යන ප්‍රකාශය ගෞතම බුදුන් වහන්සේ විසින් කල බවට බෞද්ධයන් විශ්වාස කරනව.)
නමුත් මේ සඳහා කොන්දේසියක් පැනවෙනව. තමයි බ්‍රහ්ම කුලයේ අයට කුලයන් අතර මාරු වීමේ හැකියාව නැහැ. ඒ එක්කම ඔවුන් අනිත් කුලයන් වලට වඩා ඉහලයි. එයින් අදහස් වෙනව අනිත් කුල තුනම එක සමානයි කියල.
නමුත් කාලය ගතවීමත් එක්ක හින්දු සමාජයේ මතයක් බිහිවෙනව ශුද්‍ර කියන්නෙ පහලම කුලය. නමුත් මේ කම්කරු කුලයේ ඉන්නව මස් මරන්නන්.. මස් වෙලෙන්දන්.. වැසිකිලි පිරිසිඳු කරන්නන් වගේ අපිරිසිඳු රැකියා කරන පිරිස්. මේ අයව ස්පර්ශ කරන්න හොඳ නෑ. ඒ නිසා ඒ අයට වෙනම ඛාන්ඩයක් නිර්මාණය කරන්න ඕනෙ.
ස්පර්ශ නොකරන ප්රථික්ශේපිත අඩු කුලය බිහිවෙන්නෙ මෙන්න මේ ආකාරයට විය හැකියි. මෙන්න මේ ක්රමයන් තුල ඇතිවෙන ගැටළු වලට පිලිතුරු ලබාදෙනව මානව ධර්ම ශාස්ත්‍ර ග්රන්ථ මගින්. ( 1776 අවුරුද්දෙ පෙරදිග වෙලඳ සමාගමේ ප්‍රයෝජනයට මේ ග්රන්ථ ඉංග්‍රීසි භාශාවට පරිවර්තනය වෙනව. පරිවර්තනය කරනු ලබන්නෙ සර් විලියම් ජෝන්ස් විසින්) මානව ධර්ම ශාස්ත්‍ර පොතේ තවදුරටත් ඉගැන්වෙනව විශ්වය නිර්මාණය වූ ආකාරය.
ධර්ම මනුශ්යයාට ලැබෙන ආකාරය.
ධර්ම අනුව කුල හතරකට මිනිසුන් බෙදෙන ආකාරය.
කර්ම නීතිය.. නැවත ඉපදීම.. නැවත ඉපදීමෙන් මිදිල නිදහස ලබා ගැනීම හෙවත් භ්රහ්මන් සමග එකතුවීම හා ධර්ම පිලිපැදීම සිදු නොවුනහොත් මනු නීතිය යටතේ දඬුවම් ලබාදෙන්නෙ කොහොමද කියන ආකාරයත් මේ පොත්වල සඳහන් කරනව.
මනුස්ම්රිති හෙවත් මානව ධර්ම ශාස්ත්‍ර ලියවෙන්නෙ ක්‍රිස්තු පූර්ව 1000 -1250 අතර කාලයේ. මේ ලේඛන වල සඳහන් වෙනව කාන්තාවකට හෝ පුරුශයෙකුට ලිංගික බලපෑම් කිරීම සම්භන්ධයෙන්.
උදාහරණයක් විදිහට මනු ස්ම්රිති 8.370 – කාන්තාවක් විසින් කන්‍යාවකට ලිංගික හිරිහැර කලොත් ඒ කියන්නෙ දූශණය කලොත් ඇයගේ හිස බූ ගෑ යුතුය.. ඇගිලි දෙකක් කපා දැමිය යුතුය කියල.
මෙතන කන්‍යාවක් කියල අදහස් කරන්නෙ කුඩා දැරියක් හෝ ලිංගික සම්භන්ධතා පවත්වා නැති කෙනෙක්. ඒ එක්කම පුරුශයෙකු විසින් තරුණයෙකුට හෝ පුරුශයෙකු විසින් තරුණියකට ලිංගික අඩතේට්ටම් කලහොත් මේ හා සමාන දඬුවම් ලබා දිය යුතු බව කියනව. මෙතනදි අදහස් වෙන්නෙ කන්‍යාව හෝ කන්යාභාවයටත් වඩා තරුණයෙක් හෝ දැරිවියක් ලිංගික අපයෝජනයට ලක් කිරීම.
නමුත් හින්දු සමාජයේ වැඩි කොටසක් මෙයින් උකහා ගන්නෙ කන්‍යාව කියන කොටස මිස දැරිය හෝ තරුණයා කියන කොටස නොවන බව සමාජ මතයන් දිහා පරිස්සමින් බලද්දි අපිට තේරුම් ගන්න පුළුවන්.
හින්දු ආගම ව්‍යාප්ත වෙන හෝ පිලි පදින අතර තුර ඊට සමාන්තරව තවත් ආගම් .. විශ්වාස හා ඉගැන්වීම් දකින්න පුළුවන්. ජෛන ආගම.. සීක් ආගම.. බෞද්ධ ඉගැන්වීම්.. සෝරෝස්ට්රියානිස්ම් උදාහරන විදිහට ගන්න පුළුවන්. මේ හැම ඉගැන්වීමකම බොහොම සමානකම් තියනව.
ඊ ලඟට අපි අහන ප්‍රශ්ණයක් තමයි ඇයි හින්දු පූජකයන් සමහරක් නිරුවතින් ඉන්නෙ කියල. – නෑ.. හින්දු පූජකයන් හෝ බමුණන් නිරුවතින් ඉන්නෙ නෑ. නිරුවතින් ඉන්නෙ ජෛන පූජකයන්.

ඊලඟ ලිපියෙන් අපි කතා කරමු ජෛන ආගම බිහිවීම ගැන. විශේෂයෙන්ම බෞද්ධ ඉගැන්වීම් හා ජෛන ඉගැන්වීම් පටලවා ගැනීම පුදුමාකාරයි.

Leave a comment