
.
“හෙල බෞද්ධයන් පැවතෙන්නෙ ආර්‍යන්ගෙන්” කියල මම පොඩි කාලෙ අහල තියනව.
නමුත් බෞද්ධ කියන්නෙ ජාතියක් හෝ කුලයක් නැති ඉගැන්වීමක්.එහෙමනම් බෞද්ධයන් හෙල හෝ ආර්‍ය වෙන්නෙ කොහොමද.?
“සිංහලයන් පැවත එන්නෙ ආර්‍යන්ගෙන්..” වැඩි දෙනෙක් මේ කතාව බොහොම ආඩම්භරෙන් කියනව.
තවත් කෙනෙක් කියාවි ඉන්දු ආර්‍යන්ගෙන් තමයි සිංහලයන් පැවතෙන්නෙ කියල.
කවුද ආර්‍යන් කියන්නෙ ඇහුවොත් ලැබෙන උත්තර පරස්පරයි.
දලදා හාමුදුරුවන්ට මන් පින් දුන්නා
අද මට ඔබ දකින්න ඉඩ දුන් හින්දා..
මේ වගේ කවියක් මම දැක්කා මූනු පොතේ තියනව.
ඉන්පස්සෙ කියනව දලදා හාමුදුරුවන්ට පඬුරක් ගැට ගැහුව ලබන ආත්මෙවත් මට ඔබ ලැබෙන්න කියල වගේ කතාවක්. දළදාවෙන් පිහිට හෝ උපකාර බලාපොරොත්තු විය හැකිද.?
දළදාව කියන්නෙ අනුහස් තියන දෙවි කෙනෙක්ද.. නැත්තං හිත පහදවා ගැනීම හා ධර්මය මතක් කර ගන්න තියන ශාරීරික චෛත්‍යන් ඛාන්ඩයට අයිති වෙන වස්තුවක්ද කියල ඇහුවොත් වැඩි දෙනෙක් මූනට මූන බලා ගනීවි. මේ ආකාරයට බැලුවොත් ලංකාවෙ තියෙන්නෙ හින්දු ඇදහීම්ද ? ඒ ප්‍රශ්ණයට ගොඩක් දෙනෙක් තරහ ගන්නව.
මෙන්න මේ නිසයි හින්දු ආගම ගැන සරලව කතා කල යුත්තෙ .. ඒ වගේම මූලික කරුණු වටහා ගත යුත්තෙ. ඒ දැනුමත් එක්ක සරලව බෞද්ධ ඉගැන්වීම් ගැන අවබෝධයක් ලබා ගත යුත්තේ.
විශේෂයෙන්ම අද ලංකාවෙ බිහිවෙලා තියෙනව “ලැබෙන දෙයක් ඒ විදිහට පිලිගනිමින් ලබන ආත්මය වඩා සුව පහසු කරගන්න” වගේ මතයක්.. ජීවන ක්‍රමයක්.

මේ නිසාම එක්තරා පිරිසක් ඉන්නව දේශපාලන හෝ සමාජ අසාධාරණ ඉදිරියේ හඬක් නගන්නෙ නැතුව නිහඬව ජීවත් වෙන. අල්පේච්ඡ ජීවන ක්‍රමය විදිහට මේ සමාජ රටාව වරදවා වටහා ගත් නිසාදෝ ඒ හරහා ඉතාම නිහඬ මෙන්ම පෞද්ගලික හෝ ආත්මාර්ථකාමී ජීවන රටාවක් අපිට නිරීක්ශණය කරන්න පුළුවන්. මේ සඳහා බෞද්ධ හා හින්දු ඉගැන්වීම් හරහා බිහිවෙන සංස්කෘතිය මුල්වූ බව පැහැදිලිවම පේන්න තියනව.
ලැබෙන දෙයක් පිලි අරගෙන ඊ ලඟ ආත්මයක් උදෙසා පින් රැස් කිරීම සැබෑවටම බෞද්ධ ඉගැන්වීමක්ද කියන දෙය අපිට ගැඹුරින් සලකා බලන්න වෙනව.
ඒ නිසයි හින්දු ආගමික ඉගැන්වීම් ගැන දැනගන්න අවශ්‍ය වෙන්නෙ.
ආගම් ගැන විවෘත්තව කතා කරන්න අපි බොහෝ දෙනෙක් අකමැති ඒ හරහා අපේ විශ්වාසයන්ට අභියෝග කරන නිසා.
නමුත් තමුන්ගේ පෞද්ගලික ඇදහීම් පොඩි වෙලාවකට පැත්තකින් තියල ආගම් බිහිවීමේ පසුබිම හා ඒ ආගම් වලින් කියවෙන කරුණු ගැන අවධානය යොමු කරොත් අපි ජීවත් වෙන සමාජය ගැන බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්.
හින්දු ආගමත් ඒ හරහා බිහිවන ජෛන ආගමත් ගැන කතා කරද්දි බෞද්ධ දර්ශණය හා ඊට අදාල සංස්කෘතිය ගැන ඉබේටම කතා කරන්න වෙනව.
හින්දු ආගම.
ලොව පැරනිම ආගම විදිහට සැලකෙන්නෙ හින්දු ආගම ලෝකයේ තුන්වන විශාලතම ආගම විදිහටත් සැලකෙනව. බිලියනයකට අධික හින්දුන් ලෝකය පුරාම විසිරිලා ඉද්දි ක්‍රිස්තියානි හා ඉස්ලාම් කියන ආගම් දෙකට පස්සෙ වැඩිම බැතිමතුන් පිරිසක් ඉන්න ආගම විදිහට හින්දු ආගම සඳහන් කරන්න පුළුවන්.
ලෝකයේ ආගම් අදහන හා ඇදහීම නොකරන පිරිස් සංඛ්‍යාත්මකව හා ප්‍රථිශත විදිහට දැක්වූවොත්.
ක්‍රිස්තියානි. – බිලියන 2.39 – 31%
ඉස්ලාම්. – බිලියන 1.19 – 24.9 %
ආගම් විශ්වාස නොකරන – බිලියන 1.19. 15.5%
හින්දු – බිලියන 1.16 15.1%
බෞද්ධ – මිලියන 506. 5.6 %
සමහර විචාරකයන් කියන්නෙ හින්දු කියන්නෙ විවිධ ඇදහිලි ගනනාවක එකතුවකින් බිහිවුනු දර්ශණයක් කියලයි. මේ ආගම ආරම්භ වෙන්නෙ ලෝකයේ පැරණිම ශිෂ්ඨාචාරයක් වූ ඉන්දු නිම්න සංස්කෘතිය තුලදී දැනට අවුරුදු පන්දාහකට පමන පෙර බව සාමාන්‍ය පිලිගැනීම..
ඉන්දියාව හා හින්දු ආගම වෙන් කරන්න පුළුවන් කමක් නෑ. ඉන්දියාව විවිධ යුග.. විවිධ කාල පරිච්චේද ගත කලා වෙනස් සංස්කෘතීන් සමග.. වෙනත් රාජ්‍යයන් යටතේ.
මේ හැම අවස්ථාවකදිම හින්දු ආගම ඒ ඒ සංස්කෘතීන් වල බලපෑමට ලක්වෙනව.
මොනවද මේ විවිධ යුග.
1.ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය. – ක්‍රිස්තු පූර්ව 2000 සහ ඊට පෙර. ( Indus valley civilization. /Mohenjo-daro & Harappan Civilization)2.වෙදික් යුගය. – ක්‍රිස්තු පූර්ව 1500-500 (වේද ග්‍රන්ථ ලිඛිතව නිර්මාණය වෙන කාලය.) (The Vedic period ) ( මහාවීර් හා ගෞතම සිද්ධාර්ථ)3.පුරාණ සම්භාව්‍ය යුගය. – ක්‍රිස්තු පූර්ව 500- ක්‍රිස්තු වර්ශ 500. (පුරාන ග්‍රන්ථ ප්‍රසිද්ධ වෙන කාල පරිච්ඡේදය – ජේසුස්ගේ කාලය) The Great Empire of Ancient India.
4.මධ්‍යතන යුගය. ක්‍රිස්තු වර්ශ 500- 1500. (ඉස්ලාම් ආගම ව්‍යාප්ත වෙන කාලය) – Medival period
5.නූතන යුගයට පෙර හා ආසන්න කාලය. 1500- 1757. ( Eraly Modern period)6.බ්‍රිතාන්‍ය යටත් විජිත සමය. 1757- 1947 (මුස්ලිම් ආක්‍රමන අවසන් වන කාලය හා බ්‍රිතාන්‍යයන් විසින් හින්දු ආගමට නිදහස ලබාදීම)
( British empire)
6.නිදහස් ඉන්දියාව – 1947 සිට මේ දක්වා. ( After Independance)
ඉන්දු නිම්න කලාපය ශිෂ්ඨාචාරයක් විදිහට සැලකෙන්නෙ ක්‍රිස්තු පූර්ව තුන්දාස් පන්සීය පමන කාලයේ සිට වුනත් මේ කලාප ජනාවාස වෙන්නෙ ඊට බොහොම කාලයකට කලින්. මේ සංස්කෘතිය අපි හඳුන්වනව මොහොන්ජොදාරෝ හරප්පා විදිහට.
ඒකෙ අදහස හරප්පා සහ මොහොන්ජොදාරෝ කියන ප්‍රධාන කලාප දෙක එකතුවෙලා මේ රාජ්‍ය ගොඩ නැගී තිබීමයි.


මේ සංස්කෘතියෙන් වඩාත්ම පැරනි කලාපය හරප්පා සංස්කෘතිය හෙවත් හරප්ප්පා ගංගාව මූලිකකරගෙන නිර්මානය වෙන කලාපය විදිහට හඳුන්වන්න පුළුවන්.
ලෝකයේ පලමු සැලසුම්ගත නගරය විදිහට සැලකෙන්නෙත් හරප්පා ගංගාව ආශ්‍රිතව ගොඩ නැගෙන හරප්පා නගරයයි. පසුව හරප්පා ගඟ සිඳී යාමත් එක්ක ඉන්දු ගංගාවෙන් පහල කලාපය ජනාවාස විදිහට තවදුරටත් ව්‍යාප්ත වෙනව අපිට දකින්න පුළුවන්.
මොන ජන කොට්ඨාශය විසින්ද මේ ශිෂ්ඨාචාරය ගොඩ නගන්නෙ.?
ඉන්දියානු විචාරකයන් කියාවි ඉන්දු ආර්‍යන් විසින් මේ සංස්කෘතිය ගොඩ නැගූ බව.
නමුත් ඉන්දු ආර්‍යන් කියන්නෙ කවුද ඇහුවොත් ඒ අය දෙන උත්තර සංකීර්ණයි.
මුල්ම උත්තර වලින් එකක් තමයි මේ අය එන්නෙ ඉරාන දේශයෙන් බවත් ඉරාන හෙවත් පර්සියන් ජාතිකයන් ආර්‍යන් වූ බවත්. ( එරානියන්- ආරියන්). දෙවන උත්තරය තමයි මධ්‍යම යුරෝපානු ස්ටෙප්ස් බිම්වලින් පැමිනෙන සුදු උස මිනිසුන් ආර්‍යයන් බව.
මේ දෙවනි කතන්දරය විශ්වාස කරන ඇඩොල්ෆ් හිට්ලර් ආර්‍යන්ගේ ආගමික සලකුනක් වූ ස්වස්තික ලකුණ පාවිච්චි කරනව නාසි ජර්මනියක් බිහි කරන්න. ඒකට හේතුව තමයි ජර්මන් ජාතිකයන් ආර්‍යයන්ගෙන් පැවතෙන ජන කොටසක් බව හිට්ලර් ඇතුළු නාසීන් විසින් විශ්වාස කිරීම.
නිල් ඇස්.. රන්වන් හිස කෙස්.. සුදු හෝ රන්වන් කෙස් ඇති මිනිසුන් ආර්‍යයන් ලෙස නාසි වාදීන් සලකනව.
නමුත් ආර්‍යයන් ගැන කොතැනකවත් ඉතිහාසගත තොරතුරු සොයා ගන්න අපහසු වෙද්දි ඒ ගැන සඳහන් වෙනව හින්දු වේද ග්‍රන්ථ තුල.
ස්ටෙප්ස් තණ බිම් වලින් ආරම්භ වන ආර්‍යන්ගේ සංක්‍රමණය.

ඉන්දු ගඟ දෙපස බිහිවෙන මේ සංස්කෘතිය ඉතාම දියුණු සැලසුම් සහගත පාලනයක් තිබුනු එකක් නිසාම ඒ කලාපයේ මිනිසුන් වඩ වඩාත් සාහිත්‍යයත් මිනිස් අභ්‍යන්තරය හා හිත ගැනත් කතා භහ කරන්න ප්‍රශ්ණ කරන්න පටන් ගත් බව අපිට අනුමාන කරන්න පුළුවන්.
ඒ එක්කම මොසපොටේමියානු සංස්කෘතිය හා ග්‍රීක ජනාවාස අතරත් ඉන්දු නිම්න වැසියන් වෙළඳාමේ යෙදෙනව. මේ සංස්කෘතීන් අතර ඇතිවන අදහස් හුවමාරුව හරහා අධ්‍යාත්මික ප්‍රශ්ණ කිරීම් සඳහා ඉන්දු නිම්න වැසියන් වැඩි වැඩියෙන් යොමු වූ බවට විචාරකයන් අදහස් පල කරනව .
පතන්ජලී කියන්නෙ යෝග විද්‍යාවේ පියා. එයා කියන ආකාරයට ආර්‍යයන් වෙන්නෙ හිරන්‍යකේශිනී පිරිස. ඒ කියන්නෙ රන්වන් කෙස් ඇති මිනිසුන්.
ආර්‍යන් විසින් දාස එහෙමත් නැත්නම් දාස් විදිහට හඳුන්වන්නෙ ඒ කාලයේ ජීවත් වූ කළු හමක් සහිත කොට මිනිසුන්. ( දාස් පසුකාලීනව ක්ශුද්‍ර කියන කුලයට අයිති මිනිසුන් යොදාගන්න පාවිච්චි කරනව).
ඒ එක්කම ආර්‍යයන් භ්‍රාහ්මන හෙවත් උසස් කුලය බවට පත්වූ පවත් පැරනි ඉන්දියානුවන් විශ්වාස කරනව.
ජම්මු හා කාශ්මීර් වැනි පෙදෙස්වල ඉන්දියානුවන් විශ්වාස කරන්නෙ ආර්‍යයන් පැමිනෙන්නෙ ග්‍රීසියෙන් බවයි. ගල් කැටයම් හා වාස්තු විද්‍යාව.. නිවාස හා නගර සැලසුම් සමග පැමිනි උසස් මිනිසුන් ආර්‍යන් බවයි ඒ අයගෙ පිලිගැනීම.
ආර්‍යන්ගේ පැමිනීමත් එක්ක මේ ප්‍රදේශවල පදිංචිව සිටි ජනතාව හඳුන්වන්න ඔවුන් පාවිච්චි කරන්නෙ දාස් කියන යෙදුම. මුල් පදිංචිකරුවන් දාස් හෙවත් ඩ්‍රාවිඩියන් විය හැකි බව බව මගේ උගත් මිතුරෙකු වූ ආචාර්‍ය ඇන්ඩෲ ආර්සන් කියනව. නමුත් දාස් හා ඩ්‍රාවිඩියන් කියන්නෙ එකම ජන කොට්ඨාශයක් බවට ලිඛිත සාක්ශි හොයා ගන්න ලැබෙන්නෙ නෑ. ඩ්‍රාවිඩියන්ස් කියන්නෙ වර්ථමාන දකුණු ඉන්දියානුවන්ට. දමිල.. තෙලිඟු.. මලයාලි වගේ ජන කොටස් අයිති වෙන්නෙ ඩ්‍රාවිඩියන් වරුන්ට.
ඩ්‍රාවිඩියන් වරු කළු හෝ දුඹුරු හමක් ඇති කුඩා මිනිසුන්.
“කඩිසර.. වැඩෙහි දක්ශ කුඩා දුඹුරු මිනිසුන් මේ ඉන්දු ගංගාව දෙපැත්තෙ විශාල නගර ගොඩ නගනව.
ඒ නගර ටිකින් ටික විශාල වෙද්දියි උතුරු වයඹ දෙසින් උස සුදු හමක් ඇති මිනිස්සු පැමිනෙන්නෙ .. ඒ අයගෙ ඇස් නිල් පාටයි.. රන් වන් පාට හිස කෙස් කැරලි ගැහිල.. බැලූ බැල්මට ග්‍රීකයො වගෙයි.”
“මේ අය තමයි හිරන්‍ය කේශිනී කියන්නෙ.. පස්සෙ අපේ මිනිස්සු ඒ අයට කීවෙ ආර්‍යයන් කියල.”
මේ ඇෆ්ඝ්නිස්ථානයේ සංචාරය කරද්දි අහන්න ලැබුනු පරන කතාවක කොටසක්.

එදා ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ගොඩ නැගුනෙ ඉන්දීය ඇෆ්ඝන් බිම් වල. අද පාකිස්ථානය කීවත් පාකිස්ථානය බිහි වෙන්නෙ බොහෝම මෑතකදි ඇෆ්ඝන් හා ඉන්දීය බිම් වලින් කොටස් එකතු කරල.
(හරප්පා ප්‍රදේශ හරහා දකුණු ඉන්දියාව දක්වා මේ අය සංක්‍රමණය වෙන්නෙ ඉරාන කඳුකර ප්‍රදේශ වලින් හෙවත් එලාම් කලාපවලින්. එලාම් පහු කාලීනව ඊලාම් ලෙස වෙනස් වුනා වෙන්න පුළුවන්.)
ඒ තොරතුරු වල නිවරදිතාවය කොහොම වුනත් ආර්‍යන් ගෙන් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය පොහොසත් වුනු බවත් ඉන්දු නිම්න කලාපයෙන් හින්දු ආගම හෙවත් හින්දුන්ගේ ජීවන ක්‍රමයට අඩි තාලම වැටුනු බවත් පිලි ගැනෙන මතයක්.
අවුරුදු පන්දාහකට ආසන්න වයස ඇති නගරයක්…. මොහොන්ජොදාරෝ.

මොහොනජොදාරෝ ශිෂ්ඨාචාරය බිහිවෙන්නෙ දැනුම සංකලනයකින්.
පර්සියාවෙන් හා ස්ටෙප්ස් තණබිම් වලින් එන පිරිස.. අරාබි වෙළඳුන්.. චීන ගවේශකයන් හා වෙලෙන්දන් හමුවෙන හබ් එකක් වගේ තැනක් තමයි ඉන්දු නිම්නය.
මුලින්ම මේ අයට අවශ්‍ය වෙනව සාධාරන පාලන ක්‍රමයක් ඇති කරන්න.
නගර හා ගොඩනැගිලි සැලසුම් කරන්න… රැකියා හා රැකියා ක්‍රම හඳුන්වා දෙන්න . නීති හා සම්ප්‍රදායන් .. අධ්‍යාපනය හා සෞඛ්‍ය ගැන නගර වැසියන් දැනුවත් කරන්න.
මේ කරුණු සඳහා වේද ග්‍රන්ථ නිර්මාණය කරපු බවට අපිට අනුමාන කරන්න පුලුවන්.
මේ නගර වල වැදගත්ම ස්ථාන පිහිටුවන්නෙ නගරයේ උසම ස්ථානයේ හෙවත් සිටඩේල්/සිටිඩේල් කියන තැන. පල්ලි පන්සල් හෝ මාලිගා වෙනුවට මේ තැන්වල පිහිටුවන්නෙ සාකච්ඡා මණ්ඩප .. පොදු නාන තඨාක.. උද්‍යාන හා සක්මන් මළු වැනි ඉදිකිරීම්.
ඒ හරහා ඔවුන් මිනිසාගේ ආධ්‍යාත්මය ගැන සාකච්ඡා කිරීම ඇරඹුනා යැයි අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව ඇදහීමේ ක්‍රමයක් වෙනුවට ජීවත් වීමේ ක්‍රමයක් ලෙස හින්දු ආගම ඇරඹුනා යැයි කීම වරදක් නෙවේ.
ක්‍රිස්තු පූර්ව 500 / 400 වගේ කාලය කියන්නෙ ආගම් හා විශ්වාස ප්‍රශ්ණ කරන වගේම විවිධ ඉගැන්වීම් බිහිවෙන හරි අපූරු කාලයක්.
මේ කාලය තුල මිනිසාගේ ආධ්‍යාත්මය ගැන තියන කුතුහලය වැඩිවෙනව වගේම දර්ශණ විද්‍යාව හා තර්ක ශාස්ත්‍රය විශ්වාස හා ඇදහීම් අභිබවාගෙන ඉදිරියට ඉදිරියට එන කාල පරිච්ඡේදයක් කීවොත් වඩාත් නිවැරදියි.
කවුද මේ කාලයේ බිහිවූ දාර්ශණිකයන්.. නැත්නම් බුද්ධිමතුන්. ?
මහාවීර – ජෛන ආගම. ක්‍රිස්තු පූර්ව 599 (හෝ 540)
කොන්ෆියුසියස්- ක්‍රි.පූ 551
ගෞතම සිද්ධාර්ථ – ක්‍රිස්තු පූර්ව 563 (හෝ 480)
සොක්‍රටීස් – ක්‍රි.පූ 470
ප්ලේටෝ – ක්‍රි.පූ 468
ඇරිස්ටෝටල් – ක්‍රි.පූ. 367
හින්දු ආගම කියන්නෙ ඇදහිය යුතු ආගමක් නෙවේ “ජීවන ක්‍රමයක්” බවත් හින්දු හා ඉන්දියාව කියන්නෙ දෙකක් නෙවේ එකක් බවත් විචාරකයන් සඳහන් කරනව.
හින්දු ආගමට කියන තවත් නමක් තමයි “සනාතන ධර්ම” හෝ “සනාතන ධර්මය.”
ග්‍රීක .. පර්සියානු හා මධ්‍යම ආසියානු අදහස් හරප්පා සංස්කෘතිය සමග එකතු වීමෙන් මේ ජීවන ක්‍රමය නිර්මාණය වෙන්නෙ ආගමක් විදිහට නොවන බව අපි පහුගිය ලිපියෙන් කතා කරා.
දෙවියක් විසින් දුන් පොරොන්දුවක්.. ශාස්තෲවරයෙක් පහල වීමක්.. එක දෙවි කෙනෙක් හෝ එක ඉගැන්වීමක් හින්දු ආගමේ නෑ. එතන තියෙන්නෙ විවිධ ඇදහිලි ක්‍රම.. ජීවත් වීමේ ක්‍රම.. විවිධ ශාස්ත්‍රීය අදහස් හා විශ්වාස වල එකතුවක්.
නමුත් ඔවුන්ගේ ආගමේ මූලික හරය “සම්සාර” හෙවත් නොනවතින ජීවිත චක්‍රයක සැරි සැරීමත්.. ඉන් එගොඩවීමත් කියල අපිට සරලව කරුණු දක්වන්න පුළුවන්.
ජීවිත චක්‍රය කියන්නෙ පසු කාලීනව ජෛන හා බෞද්ධ ඉගැන්වීම් වලත් දකින්න පුළුවන් මරණය හා පුනරුප්පත්තිය. නැවත නැවත සතෙකු මිනිසෙකු හෝ වෙනත් ජීවියෙකු ලෙස උපත ලබන්න පුළුවන් බව හින්දු ඉගැන්වීම් වල මූලික එකඟතාවයක්.
කර්ම මගින් ඊ ලඟ ජීවිතයේ උසස් බව හෝ පහත් බව තීරණය වුනත් කර්මය යනු දඬුවම් දෙන නීතියක් විදිහට හින්දු විශ්වාස තුල හොයා ගන්න අමාරුයි.
කොහොමද අපි මේ ඉගැන්වීම් ගැන දැන ගන්නෙ..? ක්‍රිස්තියානි ආගම නම් බයිබලය කියවලත්, ඉස්ලාම් ආගම නම් කුරාණය කියවලත් යම් ආකාරයක අදහසක් ගන්න පුළුවන්.
නමුත් හින්දු ආගම ගැන දැන ගන්න නම් කාලයෙන් කාලයට ලියවුනු පොත් විශාල සංඛ්‍යාවක් කියවන්න වෙනව. මුලින්ම වේද ග්‍රන්ථ.. ඉන් පස්සෙ පුරාන ග්‍රන්ථ .. ඊටත් පස්සෙ මානව ධර්ම ග්‍රන්ථ ආදී වශයෙන්.
ඉන්දියානුවන්ගෙ මුල්ම භාශාව සංස්ක්‍රිත් වෙද්දි සංස්ක්‍රිත් භාශාවෙන් හින්දු ගඟට කියන්නෙ සින්ධු කියල. සින්ධු ගඟ ඉන්දු ගඟ බවට පත්වෙලා ඒ හරහා හින්දු දේශයත් හින්දු ආගමත් බිහිවෙනව.
ඉන්දු ගඟෙන් එතෙර වෙන පිරිස හෝ එතෙර ජීවත් වන පිරිස හින්දුන් බවට පත්වෙනව.
Hindu කියන වචනයෙන් H අකුර අයින් කරල ග්‍රීක භාශාවෙ නිතරම භාවිතා වෙන ia කියන කොටස් දෙක එකතු වෙලා India නිර්මාණය වෙනව කියන අදහස අපිට හොයා ගන්න පුළුවන් ග්‍රීක හා ආර්මේනියානු සාහිත්‍යයේ..
අමතක කරන්න නරකයි හින්දු හා ග්‍රීක සංස්කෘතීන් දෙක එකකට එකක් බොහොම සමීප බව.
වරින් වර ශාස්තෲවරුන්.. ලේඛකයන් .. පඬිවරුන් හෝ ආධ්‍යාත්මික නායකයන් දේශණා කල කරුණු කටින් කට ඇවිත් වරින් වර ලේඛණ ගත වීමෙන් හින්දු ආගමේ මූලික කරුණු හා ඇදහිලි සමාජ ගත වෙනව.
කටින් කට පැමිනෙද්දි මේ කරුණු හා ඇදහිලි කොයිතරම් දුරට මුල් අදහස් හා සමානුපාතිකයිද කියන ගැටළුව අපිට මතුවෙනව.



හින්දු ආගම හා බොම්බයි ලූනු.
“දරුවො උඹ හිතනවද අවුරුද්දක් දෙකක් තුනක් මේ පලාතෙ ජීවත් වුනා කියල උඹට හින්දු ආගමයි අපේ සමාජයයි තේරුම් ගන්න පුළුවන් කියල..?”
මට හීන් දාඩිය දැම්ම.
අවුරුදු දෙක තුනක් නෙවේ.. මාස දෙක තුනක් විතරයි මට තියෙන්නෙ. එහෙම හිතුනත් … මං එහෙම කීවෙ නෑ.
“මේ බිමේම ඉපදිලා… මේ ගං ගොඩේම ලොකු මහත්වෙලා .. මුළු ජීවිත කාලෙම මෙහෙම ගෙවපු මහත්තුරුන්ටවත් මේක තේරුම් ගන්න බැහැ.”
මං උත්තර දුන්නෙ නෑ…
“මෙහෙම බැලුවොත්…” “උඹ උත්සාහ කරනව ලොකු බොම්බයි ලූනු ගෙඩියක් ගැන ඉගෙන ගන්න.ලූනු ගෙඩිය අතට ගත්තම මොනවද උඹ දකින්නෙ..?
මේ ලූනු ගෙඩිය විශාලයි.. තද දම්පාටයි.. ටිකක් බරයි.. හොඳ සුවඳක් තියනව.
හරි.. ඊට පස්සෙ උඹ කරන්නෙ.. ?
උඹ පොත්ත අයින් කරනව.මම හරිද..?
හරි..ඊට පස්සෙ තව පොත්තක් පේනව.. ඒක අයින් කරාම තව තට්ටුවක්.. ඊටත් යටින් තව තට්ටුවක්.මම හරිද..?
– හරි.
තව තව දැනගන්න උඹට ඕනෙ…
උඹ තට්ටු එකින් එක අයින් කරනව. අන්තිමේදි උඹට මොනවද හමු වෙන්නෙ.
මදේ.
මදේ… ?
මදයක් තියනවද.?
නෑ..නෑ මදයක් නෑ… කිසි දෙයක් නෑ…
හින්දු කියන්නෙත් ඒ වගේ දෙයක්.කෑලි කෑලි ගලවල බැලුවොත්… ඇස් දෙක දකින දේ බලමින් විශ්ලේශණය කරොත් උඹට කිසි දෙයක් හම්බ වෙන්නෙ නෑ.සමස්තය දිහා බලපන්… සමස්තයක් විදිහට අදහසක් ගන්න උත්සාහ කරපන්… උඹට යමක් වැටහුනේ නැතුවට කමක් නෑ.ඒක ඒ විදිහයි.
මේ දෙබස ඇතිවුනේ ජායිපූර් නගරයේදී දැනට අවුරුදු දොලහකට දහතුනකට කලින්. මාස කීපයයක් ඇතුලත හින්දු සමාජය තේරුම් ගන්න උත්සාහ කරපු තරුණයෙක් කොයි තරම් ලැජ්ජ වුනාද.. අපේක්ශාභංගත්වයකට පත්වුනාද… ගැඹුරු අදහසක් තේරුම් ගත්තද කියන්න දන්නෙ නෑ.නමුත් ඒ හැම එකකම එකතුවක් වෙන්න ඕනෙ.ඒ දවස්වල වැඩිපුරම කරේ සටහන් පොතේ පොඩි පිංතූර අඳින එකත් ..රූප කොල කෑලි අලවමින් හිතෙන දේ ලියන එකත් ඇර,දකින හැමදේම හිතේ ඇඳගන්න එක විතරයි.අද ඒ සටහන් පොත ආපහු දිග අරින්න හිතුවෙ හින්දු ආගම ගැන සරල ලියවිල්ලක් ලියමින් ඉන්න නිසා.
ඒක හරියට පරන මතක පොතක් දිග අරිනව වගේ..

ජායිපූර්.. උදායිපූර් හරහා වාරානාසී දක්වා හිත දුවනව කලබලෙන්. අද වගේ ඇපල් නෝට් බුක් එකට ඒ කාලෙ ඇබ්බැහි වෙලා හිටියෙ නැති එකෙන් බොහෝ දේ දැක්ක ඒ දේවල් තියන විදිහටම.මහා විශාල නුග ගහක් යටට ඉඳගෙන පාරෙන් එහා පැත්තෙ වීදියක බොහෝම පරිස්සමින් වඳුරු පැටියෙක් නාවන හින්දු කාන්තාවක් දිහා බලාගෙන මම හිතුවෙ .. “තේරුම් ගන්න උත්සාහ කරන්න එපා දකින දේ විඳගනින්” කියල.වේද ග්‍රන්ථ වල ඉඳල.. වීර කාව්‍ය… යෝග.. මහේන්ද්‍ර සිං දෝනි දේවාලය.. බොලිවුඩ්… දක්වා මහා පරාසයක විහිදෙන මේ සමාජය පුදුමාකාරයි.
අවුරුදු 140 ක් වයස මහළු මිනිසුන් හමුවුනා..අවුරුදු 120 කට වඩා වයස සාදු කෙනෙක් තමන්ගෙ මුළු ශරීරයම බෝලයක් වගේ වෙනකල් රවුම් වෙනව නැවෙනව දැක්ක… කිසිම චකිතයක් නැතුව නගරයක් මැද්දෙ නිරුවතින් ඇවිදගෙන යන ජෛන සාදු වරුන්ව දැක්ක ..ඒ දේවල් තේරුම් ගන්න උත්සාහ කරනව වෙනුවට ඒ තියන.. සිදුවෙන ආකාරයෙන්ම දකින්න උත්සාහ කරා.
මේ සටහන් ලියන්නෙ එදා හිතේ තැන්පත්වූ දේවල් හා සටහන් පොතේ සටහන් හරහා මිස මේ විශය ගැන ලියවුනු ගැඹුරු පොත්පත් හරහා නෙවේ.සමහර කරුණු විවාදාත්මක වුනත්… සමහර න්‍යායන් අනිත් අය දකින විදිහට සටහන් නොවුනත්.. සුළු අඩුපාඩු තිබුනත්… මේ ඇදහීම් හෝ සමාජය මම දකින විදිහට ..
අනිත් වැදගත් කාරණය බටහිර රටවල අධ්‍යාපන ක්ශේස්ත්‍රයේ පර්‍යේශණ සටහන් ලියද්දි වඩා වැදගත් වෙන්නෙ තමන් විසින් නිරීක්ශණය කරල… අධ්‍යයනය කරල තමන්ට වැටහෙන දේ ලිවීම මිස වෙනත් පොත් හෝ ලේඛණ වලින් තොරතුරු කොපි කිරීම නෙවේ. යම් මූලික සිද්ධාන්ත වල නිවැරදිභාවය තේරුම් ගන්න පමණක් අපි ලේඛණ පරිශීලනය කිරීම සිද්ධ වෙනව.
මට තේරෙන විදිහට කියන්නයි පොඩි උත්සාහයක් දරන්නෙ.ලංකාවෙ බෞද්ධ සමාජය කොයිතරම් දුරට හින්දු, ජෛන හා බෞද්ධ ඉගැන්වීම් අතර අතරමං වෙලාද කියන එක තේරුම් ගන්න මේ හරහා උත්සාහ කිරීම කරන්න පුළුවන් දෙයක්ද..?
ඒ හරහා ඉගෙන ගන්න එක වඩා වටිනව කියල මට හිතෙනව. තමන් දන්නා දේ තුල කිසි දිනක තමන්ව වර්ධනය වෙන්නෙ නෑ. තමන් නොදන්නා බව දැන ගන්නා හැම විටකම තමන්ව තේරුම් ගන්න පුළුවන්.
නොදන්නා දෙයක් ගැන ලියන.. කතා කරන .. ඇහුම් කන් දෙන හැම විටකම තවත් පඩියක් ඉහලට නගින්න පුළුවන් කියල කවුදෝ කියනව මම අහල තියනව. ජායිපූර් නගරයේ උනුසුම් දූවිලි හුලඟයි.. ඇල්ප්ස් කඳු උඩින් එන තද සීතල හුලඟයි අතර ලොකු වෙනසක් නෑ.
“මා දන්නේ එකම දෙයක් පමනි… ඒ මම කිසිවක් කිසිවක් නොදන්නා බව පමණයි. “ කොහෙදෝ තැනක එහෙම ලියවිලා තිබුන මතකයි.


හින්දුන්ගේ ප්‍රධාන මූල ධර්ම හතක් තියනව . ඒ ගැන අවධානය යොමු කරොත් අපිට යමක් තේරුම් ගන්න පුළුවන් වේවි.
1.භ්‍රහ්මන්– විශ්වය හා විශ්වය නිර්මානය වී ඇති සියළුම දේ භ්‍රහ්මන් ලෙස හඳුන්වනව. ග්‍රීක සංස්කෘතියේ සියුස් හා රෝමන් සංස්කෘතියේ ජුපිටර් විදිහට හඳුන්වන්නෙත් මේ හරහා නිර්මාණය වෙන භ්‍රහ්ම විය යුතුයි.
( නමුත් ඔවුන් වරදවා වටහා ගන්නව මහා භ්‍රහ්මයා යනු ලෝකය මැවූ හෝ ලෝකය අධිපත් දෙවියා ලෙසත්.. සුදු රැවුලක් ඇති පරිණත ආකර්ශණීය පුද්ගලයෙකු ලෙසත්).
භ්‍රහ්ම කියන්නෙ ලෝකයත්.. විශ්වයත්.. ජීවිතත් සියල්ලගේම එකතුවක්. හරියට මහ මුහුද වගේ. වතුර බින්දු මහ මුහුදට එකතු වෙනව.. නින්දු විදිහට වාශ්ප වෙනව.. ආයෙත් එකතු වෙනව. මහ මුහුදෙ වෙනසක් නෑ.
2.ආත්ම. ආත්මය විදිහට සිංහලට පරිවර්තනය වෙන්නෙ මේ වචනය විය යුතුයි. මරණයෙන් පස්සෙ වෙනත් ජීවිතයක් ලැබීම හෙවත් පුනරුප්පත්තිය විස්තර කෙරෙන්නෙ මේ විශ්වාසය යටතේ.
3.කර්ම හෙවත් කර්මය.
මරනින් පස්සෙ ඊලඟ ජීවිතය තීරණය කරන්නෙ කර්මය මගින්.
යහපත් කර්මය මගින් හොඳ ආත්මයකුත් අයහපත් කර්මය මගින් නරක ආත්මයක් ලබන බවත් මේ විශ්වාසයයි.
පහුගිය ආත්මයක කර්ම මේ ආත්මයටත් පහුගිය ආත්මයේ හා මේ ආත්මයේ කර්ම අනාගත ආත්මයටත් බලපාන බව ඔවුන් විශ්වාස කරනව.
4.මෝක්ශ.
ආත්ම තුල නැවත නැවත ඉපදීමෙන් මිදීම තුලින් මෝක්ශයට ඇතුලත් වෙන්න පුළුවන්. නැවත් ඉපදීමක් නැති තැන භහ්ම හෙවත් විශ්වය සමග සදාතනිකව එකතුවෙන බවයි මේ හතර වෙනි විශ්වාසය.
“මායාවෙන් මිදී යථාර්තය හා එකතුවේවා” ලෙස හින්දුන් යාඥා කරනුයේ මේ “මෝක්ශයට” ඇතුල් වීම සඳහා බව දැන ගැනීම වැදගත්.
5.වේද ග්‍රන්ථ.
වේද ග්‍රන්ථ හතරක් තියනව. මෙන්න මේ කියන වේද ග්‍රන්ථ හරහා තමයි හින්දු ධර්මය.. දැනුම හා ඉගැන්වීම් පරපුරෙන් පරපුරට යන්නෙ.
6. යුග.
යුග හරහා විස්තර කරනව ආරම්භයක් නැති ඉවරයක් හෝ අවසානයක් නැති ජීවන චක්‍ර පිලිබඳව. කාලය කියන්නෙ චක්‍රයක් මිස මැනිය හැකි දෙයක් නෙවේ
මේ චක්‍රය යුග හතරකින් සමන්විතයි.
ක්‍රිත.. ත්‍රෙත.. ධ්වාපාර.. කාලි කියන යුග හතරෙ එකතුව අවුරුදු මිලියන 4.32 ක්. හතර වෙනි හෝ අවසාන යුගයේ ඒ කියන්නෙ කාලි යුගයේ හැමදේම විනාශ කරනව හෝ විනාශ වෙනව කියන විශ්වාසය හින්දුන් තුල තියනව. (වර්ථමානයේ ලෝකය ගත කරමින් ඉන්නෙ කලි යුගය බවයි හින්දුන් විශ්වාස කරන්නෙ)
7. ධර්ම.
විශ්වයේ සමබර බව ධර්ම කියල හඳුන්වන්න පුළුවන්. හැම ජීවියෙකුටම හැම ශාකයකටම ධර්මයක් තියනව. කිසි කෙනෙකු මේ ධර්මයෙන් පිට යා යුතු නැහැ. හැමදේම සිදුවෙන්නෙ මේ ධර්මයට අනුව. හැම කෙනෙකුටම අදාල මේ ධර්මයේ හරය හැමදේම හොඳින් සිදුවේවි වගේ අදහසක්.
අපි කලින් සඳහන් කරා හින්දු ඉගැන්වීම් සඳහන් වෙන්නෙ වේද ග්‍රන්ථ වල කියල. වේද ග්‍රන්ථ වල අන්තර්ගතය කට පාඩමින් ලැබෙනව පරම් පරාවෙන් පරම් පරාවට. ක්‍රිස්තු පූර්ව 1500 – 1200 කාලයේ මේ ග්‍රන්ථ ලියවෙනව.
මුල්ම වේද ග්‍රන්ථ සටහන්.

හින්දු ඇදහීම් හෝ ජීවන ක්‍රමය ගැන මුලින්ම රචනා වෙන්නෙ වේද ග්‍රන්ථ හරහා. මොනවද මේ වේද ග්‍රන්ථ.
ප්‍රධාන වේද ග්‍රන්ත හතරක් තියනව.
රිග් වේද.
සත්‍ය.. නියම හෝ සැබෑ යථාර්තය. විශ්වය ගැන රිග් වේදයේ සඳහන්.
චාරිත්‍ර හෝ ජීවන ක්‍රම.. යුද්ධ හෝ පාලන ක්‍රම ගැන කරුණු අඩංගු මේ ග්‍රන්ථයේ වාක්‍ය ගායනා කිරීමට හැකි ලෙසා තාල අනුකූලව ලියල තිබීම විශේෂත්වයක්.
යාජුර් වේද.
වන්දනා මාන කිරීමේ චාරිත්‍ර විදි සඳහන් වෙන්නේ යාජුර් වේදයේ.
සමා වේද.
මිහිරි සංගීතය දුක හා වේදනාව දුරු කරයි යන අර්ථයෙන් දෙවියන් වන්දනා කිරීමට සමා වේදය රචනා කරල තියනව.
අතර්වා වේද.
අතර්වා වේද ග්‍රන්ථ තුල සඳහන් වෙන්නෙ ආදරය ආදරයෙන් පිලිතුරු දීම.. සම්භන්ධතා ගොඩ නැගීම වගේම වරදකරුවන්ට ශාප කිරීම හෝ මන්ත්‍ර මැතිරීම වගේ ක්‍රියා පටිපාටීන් කියල අපි දැනට සරලව තේරුම් ගමු.
ඊලඟට අපිට දකින්න ලැබෙනව උපනිශාදාස් ග්‍රන්ථ. උපනිශාදාස් ග්‍රන්ථ ලියවෙන්නෙ ක්‍රිස්තු පූර්ව 800- 500 වගේ කාලයේ. ( ගෞතම සිද්ධාර්ථ උපත ලබන්නෙ ක්‍රිස්තු පූර්ව 560 වගේ කාලයේදී ) මේ ග්‍රන්ථ වලින් කෙරෙන්නෙ ….ඇයි වේද ග්‍රන්ථ ලියවුනේ.. ඒ ලියවුනේ කොහොමද කියන ප්‍රශ්ණ වලට උත්තර සැපයීමක් විදිහට අපි සරලව තේරුම් ගමු..
මේ ග්‍රන්ථ වල තියන බොහොමයක් අදහස් ප්ලේටෝගේ හා ඇරිස්ටෝටල්ගේ දර්ශණයට සමානයි. නැවත මතක් කරන්න අවශ්‍ය නැහැ ග්‍රීක හා හින්දු සංස්කෘතීන් හා ඉගැන්වීම් වල තියන සමානත්වය හා සම්භන්ධතාව ගැන. මේ කාල පරිච්ඡේදය හරිම රසවත්. ග්‍රීක දර්ශණවාදයේ දැවැන්තයන් වූ ප්ලෝටෝ හා ඇරිස්ටෝටල් ජීවත් වෙන්නෙ මේ කාලයේ. හෝමර් ජීවත් වෙන්නෙ ක්‍රිස්තු පූර්ව අටවන සියවසේ. හෝමර් කියන්නෙ දර්ශනවාදියෙක් වගේම ප්‍රසිද්ධ කවියෙක්.
හෝමර් අපිට වැදගත් වෙන්නෙ ඇයි.? ග්‍රීක දෙවියන් හා ඔවුන්ගේ ලෝකය විස්තර කරන ලියාඩ් හා ඔඩෙසි කියන මහා කවි පොත් දෙක රචනා කරන්නෙ හෝමර් විසින්. ( Iliad & Odyssey)
මුඛ පර්ම්පරාවෙන් පැවතෙන මේ කවි හෝ කතංදර හෝමර් විසින් එයාගෙ සාහිත්‍ය හැකියාව යොදාගෙන රචනා කරන බව තවත් පිලිගත් කාරනයක්.
අපි ආයෙත් අහන ප්‍රශ්ණය තමයි ඇයි ග්‍රීක දේව සාහිත්‍ය හින්දු ආගමට වැදගත් වෙන්නෙ කියල.
ඒකට එක හේතුවක් තමයි හින්දු හා ග්‍රීක පුරාවෘත්ත හා දෙවියන් එකිනෙකට බොහොම සමාන වීම.
ආබ්‍රහමික් ආගම් ගැන කතා කරද්දි අපි දැක්ක ග්‍රීක දෙවිවරුන් රෝම දෙවිවරුන් බවට පත්වෙලා රෝම අධිරාජ්‍යය ජීවත් කරවපු හැටි.
උපනිදාස් ග්‍රන්ථ හා ග්‍රීක දාර්ශණිකයන් සමකාලීනයි. ඒ එක්කම මහාවීර් උපත ලබන්නෙත් ඉන්පසු ගෞතම සිද්ධාර්ථ උපත ලබන්නෙත් මේ කාල වකවානුව තුලදිමයි.
මේ ග්‍රන්ථ වල විස්තර කරනව ආත්මය කියන්නෙ මොකද්ද ඒ ආත්මය කොහොමද භෞතික ශරීරයට බද්ධ වෙන්නෙ .. ජීවිතය මෙහෙය වන්නෙ ආත්මය හෝ හිත මිස ශරීරය නොවේ වගේ කරුනු.
මේ අදහස් ග්‍රීසිය හා ඒ අවට කලාපයේ දර්ශණයක් ශාස්ත්‍රයක්.. අදහස් විද්‍යාවක් ලෙස භාවිතා වෙද්දි ඉන්දියාවේ මේ අදහස් හින්දු ආගමට ඈඳා ගන්නව.
වේද හා උපනිදශාද් ග්‍රන්ථ අනුව පමණක් යමින් හින්දු ආගම ඇදහූ බොහෝ පිරිසක් උතුරු ඉන්දියානු කලාප වල දකින්න පුළුවන්.
හින්දු ග්‍රන්ථ වල ඊලඟ අපිට දකින්න පුළුවන් පුරාන කියන ග්‍රන්ථ කොටස.
පුරාන ග්‍රන්ථ වැදගත් කමින් අඩුයි වේද ග්‍රන්ථ හා සංසන්ධනය කරද්දි.
නමුත් මේ පුරාන් ග්‍රන්ථ වල තියන ආකර්ශණීය භාවය .. කතාංදර හා අභව්‍ය කම නිසාම බොහෝම ප්‍රසිද්ධ වෙනව.
විශේෂයන්ම පුරුශයා මූලික වීමත්, කාන්තාව පුරුශයාට යටත් වීමත්, හින්දු සමාජයේ ප්‍රචලිත වෙන්නෙ පුරාන ග්‍රන්ථ ලියවෙන හා ප්‍රචලිත වෙන අවධියේදීයි.
දියණිය කියන්නෙ පියාට අයිති වස්තුවක් බවත් විවාහය දක්වා පියා යටතේ ඉන්න දියණිය විවාහයත් එක්කම සැමියාගේ අණසකට යටත් වෙන සම්ප්‍රදාය බිහිවෙන්නෙ මේ කාලයේදීමයි.
කන්‍යාවක් වීමේ වැදගත්කම ලෙස අමුතුම සම්ප්‍රදායක් සමාජය තුල පිලිගැනීමත් මේ කාලය තුල සිද්ධ වෙනව.

නමුත් ඒ එක්කම නැගෙන ප්‍රශ්ණය කාම සූත්‍ර හරහා විස්තර කෙරෙන් භහු ස්ත්‍රී.. භහු පුරුශ කාම සම්භෝගයන්ට ස්ත්‍රී පුරුශ දෙපක්ශයටම සහභාගී වීමේ හැකියාව.
එතැන්දි විවාහයට පෙර සම්භන්ධතා වගේම විවාහයට පසු සම්භන්ධතා ගැනත් විස්තර කෙරෙනව. (මේ ගැන මනුස්ම්‍රිති ග්‍රන්ථ වල සඳහන් වෙනව.. අපි ඒ ගැන පසුවට කතා කරමු)
පුරාන ග්‍රන්ථ දහ අටක් අපිට හඳුන ගන්න පුළුවන්. ඊට අමතරව භගවත් ගීතා.. මහා භාරත හා රාමායනය කියන ග්‍රන්ථ පුරාන ග්‍රන්ථ කොටසට ඇතුලත් කිරීමේ වරදක් නෑ.පුරාන ග්‍රන්ථ වගේම මහා භාරත ලියවෙන්නෙත් ව්‍යාස නම් ලේඛකයා හෝ සාදු වරයා විසින්.
හින්දු ආගමේ ඉතිහාසය හා ඇදහීම් ගැන එන්සයික්ලෝපීඩියා විදිහට පුරාන හැඳින්වූවොත් ඒකෙ වරදක් නෑ.
කුල ක්‍රමය.. විවාහ.. සම්භන්ධතා ..යෝග.. ගායනා හා සංගීතය.. බදු අය කිරීම.. අපාය හා දිව්‍ය ලෝකය වැනි විශාල පරාසයක දැනුම පුරාන ග්‍රන්ථ හරහා ලබා දෙනව.
භ්‍රහ්ම.. ක්ශත්‍රීය.. වෛශ්‍ය.. ක්ශුද්‍ර කුල හතර ගැන පැහැදිලිව සඳහන් වෙන්නෙ මේ පුරාන තුලයි.
උදාහරණයකට භගවත් ගීතා පොතේ තියන අර්ජුන හා ක්‍රිශ්ණ කතාව දිහා බැලුවොත් අර්ජුන කියන්නෙ යුධ කාමියෙක්. ක්‍රිශ්ණා හා යුද්ධයට යන අර්ජුන හරහා මේ කතාවේ කියන්නෙ ධර්ම ගැන. යුධ කාමියාගේ කාර්‍ය යුද්ධය වුනත් ඒ යුද්ධය කල යුත්තේ යක්ශයා හෝ නපුරට එරෙහිව බව ධර්ම මගින් විස්තර කරනව.
නමුත් මේ පණිවිඩය තේරුම් ගන්නව වෙනුවට අර්ජුන හෝ ක්‍රිශ්ණ ඇදහීමට එදා සමාජයත් අද සමාජයත් පෙළඹෙනව.
රාමායනය වුනත් ඒ ආකාරයි. රාමා නියෝජනය කරන්නෙ යුක්තිය හා ධර්මය. රාවණා නියෝජනය කරන්නෙ යුද්ධය හා යක්ශයා. හනුමන් නියෝජනය කරන්නෙ කර්ම යෝගි හරහා බිහිවෙන ශක්තිය හා උත්සාහය.
නමුත් මේ කතාවේ හරය තේරුම් ගන්නව වෙනුවට සමාජ හා සංස්කෘතීන් පුද්ගල වන්දනාවට පෙළඹෙනව. ඒ විතරක් නෙවේ රාමා හා රාවණා ඉතිහාසයක් ලෙස පටලවාගෙන වාද කරන්න.. ගැටුම් ඇතිකරගන්න පෙළඹෙනව.
මහා භාරත කියන්නෙ අවුරුද්දකින් කියවල ඉවර කරන්න පුළුවන් ග්‍රන්ථයක් නෙවේ. බයිබල් පහක එකතුව හා ඉලියාඩ් ඔඩිසි ග්‍රන්ථ අටක එකතුවට සමාන වෙන මහ විශාල ලේඛනයක් තමයි මහා භාරත කියන්නෙ.
යුද්ධ.. විවාහ.. පැහැර ගැනීම්.. දූශණ වංචා වගේ මහා කල කෝලහාල ගොඩකින් පිරුනු මේ කතාවෙන් කියන්නෙ මොකද්ද..? සමාජයේ නිවැරදි පැවැත්ම සඳහා අයුක්තියට එරෙහිව යුක්තිය ලබාගන්න නම් ධර්ම අනුගමනය කල යුතුයු කියන පණිවිඩය.

නමුත් ඉන්දියාවේ වගේම ඉන්දියානු උප මහද්වීපයේත් පණිවිඩයට වඩා වැදගත් කමක් දෙන්නෙ ඒ පණිවිඩය අරන් එන දෙවි දේවතාවුන්.. රාජ කුමාරියන් හෝ යක්ශයන්ට වීම පුදුම උපදවන කාරණයක්.
ඒ තමයි අපි ජීවත් වෙන ලෝකය.

Leave a comment