ඇලිසන් ෆෙලික්ස්. Allyson Felix

මේ ලිපියේ මුල් කොටස මළල ක්‍රීඩාවට ආදරේ කරන අයටත් දෙවනි කොටස ගැහැණියක් විදිහට නිහඬව ඉන්නෙ නැතුව ලෝකයේ මග වෙනස් කරපු අය ගැන දැන ගන්න කැමති අයටත් වැදගත් වෙයි.
ඇලිසන් ෆීලික්ස් ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි.
විශේෂයෙන්ම සුසන්තිකා ලෝකඩ පදක්කමක් දිනාගත්ත 2007 ඔසාකා මලළ ක්‍රීඩා ලෝක ශූරතාවයේදී පහසුවෙන්ම රන් පදක්කම දිනාගත්තෙ ඇලිසන් නිසාත් ලංකාවෙ ක්‍රීඩා ලෝලීන් අතර එයා ප්‍රසිද්ධ වෙන්න පුළුවන්..

වේගය.. දරා ගැනීමේ ශක්තිය.. ජවය.. මස් පිඩු ශක්තිය.. මානසික ශක්තිය.. මේ හැම දේකම එකතුව ලබා ගන්න පුදුමාකාර වෙහෙසක් දරන්න වෙනව. සියළුම පුහුණුවීම් එකතුවේ ප්රථිඵලය තමයි තරඟා වලියකට සුදුසුකම් ලැබීම. ඒ අවස්ථාව එද්දි ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව නිරෝගීවත් ශක්තිමත්වත් සිටීමෙන් පමනයි තරඟයක් ජයග්‍රහනය කරන්න පුළුවන් වෙන්නෙ.
ඔලිපික් තරඟ රූපවාහිනී තිරයේ නරඹන අපි බොහෝ වෙලාවට හිතනව මේ ක්‍රීඩක ක්‍රීඩිකාවො කොයිතරම් වාසනාවන්තද කියල. එහෙමත් නැත්නම් මේ අය ජීවත් වෙන රටවලින් කොයිතරම් පහසු කම් සැලකිලි ලැබෙනවද කියල. ලංකාව වගේ සැලසුමක් නැති රටවලට වඩා යුරෝපා හෝ ඇමරිකානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් ලැබෙන බව ඇත්ත. නමුත්.. මේ හැම කෙනෙක්ම කොයිතරම් මහන්සි වෙනවද.. කැප කිරීම් කරනවද .. සටන් කරනවද කියල අපි හිතන්නෙ නෑ. හැම ජයග්රහනයක් පිටිපස්සෙම තියෙන්නෙ ඉතාම දිග.. වෙහෙසකාරී කතාවක්.
1985 නොවැම්බර් දහ අට වෙනිදා කැලිෆෝනියා ප්‍රාන්ථයේ ලොස් ඇන්ජලීස් නගරයේ බොහොම සාමාන්‍ය පවුලක ඇලිසන් උපදින්නෙ.
එයාගෙ අම්ම පෙර පාසැල් ගුරුවරියක්.. තාත්ත කුඩා පල්ලියක පැස්ටර් කෙනෙක් ..එහෙමත් නැත්නම් පාදිලි කෙනෙක්. උපතේදිම බර අඩු මේ ලමය බොහොම කෙට්ටුයි. එයාගෙ එකම අයිය වගේම ඇලිසනුත් දුවන්න පනින්න හරි දක්ශයි. පුංචි කාලෙ ගමේ බැප්ටිස්ට් ප්‍රාථමික පාසැලේ බාස්කට් බෝල් ගහන්න පුරුදුවුණු ඇලිසන් දවසක් ගෙදර එන්නෙ අඬාගෙන..
“ අම්මෙ මට කකුල් වැහෙන දිගම දිග කලිසමක් ඕනෙ.. නැත්තං මං ආයෙ කවදාවත් ඉස්කෝලෙ යන්නෙ නෑ.. ආයෙ නම් මං කිසිම දවසක බාස්කට් බෝල් ගහන්න තියා මැච් එකක් බලන්නවත් පිට්ටනියට යන්නෙ නෑ.”
මේකට හේතුව තමයි ඉස්කෝලෙ හැමෝම ඇලිසන්ට නමක් පටබැඳීම. ඒ නම තමයි “චිකන් ලෙග්ස්” (කුකුල් කකුල්). ඒකට හේතුව ඇලිසන්ගෙ ඇඟටත් වඩා කකුල් දෙක බොහෝම කෙට්ටු වීම. පාන්ඩුව.. මන්ද පෝශනේ වගේ නම් මේ අතරෙ ඇහෙනව.
කොහොම නමුත් පොඩි අය ගැන හොඳට දන්න කියන ඇලිසන්ගෙ අම්ම එයාව ආපහු සැරයක් ඉස්කෝලෙටයි පිට්ටනියටයි එක්කන් යනව බොහොම පහසුවෙන්. ප්‍රථිපලය… බාස්කට් බෝල් ක්‍රීඩාවට විතරක් නෙමේ දුවන පනින තරඟ වලිනුත් චිකන් ලෙග්ස්ව පරද්දන්න කාටවත් බැරි වීමයි.
අවුරුදු දාහතරෙදි මුළු ඇමරිකාවෙම ඉන්න වේගවත්වම කණිශ්ඨ ක්‍රීඩිකාව වෙන්නෙ මේ චිකන් ලෙග්ස් නමින් හඳුන්වපු ඇලිසන් තමයි. එතනින් නවතින්නෙ නැති චිකන් ලෙග්ස් ලෝක කණිශ්ඨ මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගන්නෙ තත්පර 22 දශම 11 න්. එතකොට ඇලිසන්ගෙ වයස අවුරුදු දාහත වුනා විතරයි.
( සුසන්තිකා ඔලිම්පික් රිදී පදක්කම දිනුවෙ 22.28 න්.. දැනට ලංකාවෙ කණිශ්ඨ ශූරිය වූ මේධානි ජයමාන්න වාර්ථා කරන කාලය තත්පර 24.0 යි.. ඒ සංසන්දනය කිරීමේ පහසුව සඳහා ).
අවුරුදු දහ අට වෙන්නත් කලින් ඇමරිකාවේ මීටර් 200 සඳහා ඉන්න හොඳම ක්‍රීඩිකාව වෙන්නෙ මේ කෙසඟ ෆීලික්ස්. පුංචි කාලෙ අවමානයට කියපු නම ( චිකන් ලෙග්ස්) මාධ්‍යවේදීන් පාවිච්චි කරන්නෙ බොහොම සැහැල්ලුවෙන්. ඒකට ෆෙලික්ස් උනත් තරහ ගන්නෙ නෑ. ඇය කියන්නෙ.. “ඔව් තවමත් මම තමයි චිකන් ලෙග්ස් “කියල හිනාවකුත් එක්කමයි.
උස අඩි පහයි අඟල් හයක් වෙද්දි එයාගෙ බර කිලෝ 52 යි. මේ පුංචි ශරීරය තියාගෙන 2004 ඔලිම්පික් තරඟෙට යද්දි ඇලිසන්ට යන්තම් වයස දහ අට පහු වුනා විතරයි. මුළු ලෝකෙම අවධානය දිනාගනිමින් මේ ක්‍රීඩිකාව රිදී පදක්කම දිනා ගන්නව.
2004 ඔලිම්පික් තරඟ වලට යන ඇමරිකානු කණ්ඩායමේ ලාබාලම ක්රිඩිකාව තමයි ඇලිසන්. (2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට යන ඇමරිකානු කණ්ඩායමේ වයස්ගතම ක්‍රීඩිකාවත් ඇලිසන් ෆීලික්ස්මයි.)
2004 දි රන් පදක්කම නොලැබුනාට 2005 ..2007.. අවුරුදු දෙකේදිම ලොක ශූරතා තරඟ වල මීටර් 200 ලෝක ශූරිය වෙන්නෙ ඇලිසන්. 2004 දි අහිමිවුණු රන් පදක්කම දිනාගන්න 2008 බෙයිජින් ඔලිම්පික් ඇලිසන් බොහොම මහන්සි වෙලා පුහුනුවීම් කරනව. අවුරුදු හතරක් පුරා ඉලක්කයක්.. හීනයක් වෙනුවෙන් වැඩ කිරීම ලේසි පහසු දෙයක් නෙවේ. 2008 ඔළිම්පික් උළෙලට ගියත් ආයෙත් එයාට ලැබෙන්නෙ රිදී පදක්කම.
2008 දි බැරිවුනා .. කමක් නෑ.. මං 2012 දි උත්සාහ කරනව .. ඇලිසන් මෙහෙම කියන්නෙ කඳුළු පිරුණු ඇස්වලින්. තවත් අවුරුදු හතරක් මහන්සි වෙලා පුහුණුවීම් කරපු මේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩිකාව 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්ක්කම් තුනක් දිනාගන්නව.
ඇලිසන් සුසන්තිකා ජයසිංහ සමග.



විශේෂයෙන්ම මීටර් 200 ඉසව්වේ දිනාගත් රන් පදක්කම වැඩියෙන්ම වටිනව. පිට පිට මේ ඉසව්වේ එයාව පරද්දපු ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් බ්‍රවුන්ව ( Veronica Camble Brown)පහසුවෙන්ම පරද්දමින් දිනාගත් මේ පදක්කම සුවිශේෂී බව ඇලිසන් පසුකාලීන්ව කියනව.
අද වෙද්දි ලෝක මට්ටමේ ශූරතා වලදි ( ඔලිම්පික් හා ලෝක මළල ක්‍රීඩා ශූරතාවලදි ) වෙනත් කිසිම ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ඇලිසන් ෆීලික්ස් තරම් පදක්කම් දිනාගෙන නෑ.
ඔලිම්පික් පදක්ක්කම් 9. ( රන් පදක්කම් 6 ක් හා රිදී පදක්කම් 3)ලෝක ශූරතා පදක්කම් 17 ( රන් පදක්කම් 12.. රිදී පදක්කම් 3.. ලෝකඩ පදක්කම් 2). (මේ එකතුවට 2021 ඔලිම්පික් උලෙලේ පදක්කම් දෙකක් සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවේ පදක්කම් දෙකක් පසුව එකතු වෙනව. )
මීටර් 200 ඉසව්ව සඳහා ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟා වලියේදී පිට පිටම රන් පදක්කම් තුනක් දිනා ගැනීම සුවිශේෂ සිද්ධියක් වගේම වාර්ථාවක්.
2005 හෙල්සින්කි 2007 ඔසාකා සහ 2009 බර්ලින් කියන ක්‍රීඩා තරඟාවලීන් තුනේදිම මීටර් 200 ඉසව්වේ රන් පදක්කම හිමිවෙන්නෙ ඇලිසන් ෆෙලික්ස්ට.
ලෝක ඉතිහාසයේ ඔනෑම මළල ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාව සටහන් වෙන්නෙ ඇලිසන්ගෙ නමින්.
තවත් විශේෂ දෙයක් තමයි ඇලිසන් ෆීලික්ස් තමයි ලෝක මට්ටමේ එකම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව කිසිම දවසක තහණම් උත්තේජක චෝදනා එල්ලෙ නොවුණු ..ඒ වගේම එකම වරක්වත් කිසිම වෛද්‍ය පරීක්ශණයක් අසමත් නොවුනු. ඕනෑම තැනක ඕනෑම විටක ( Anywhere Anytime ) කියන සමාජය පිහිටුවන්නෙ ඇලිසන් ෆෙලික්ස් විසින්. එයින් අදහස් වෙන්නෙ ලෝකයේ ඕනෑම තැනකදි ඕනෑම වෙලාවක තහණම් උත්තේජක පරීක්ශාවන් සඳහා තමන් සූදානම් බව දන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කන්ඩායමක්.
අනිත් දේ තමා මේ ක්‍රීඩිකාවගෙ නිහතමානී කම. කිසිම දවසක කට මැත දොඩවනෙ නැති ඇලිසන් ධාවන පථයෙත් ඉන් පිටතදීත් හැමෝගෙම ආදරේ දිනාගත් කෙනෙක්.
2019 ලෝක මළල ක්‍රීඩා ශූරතාවයේදී මාධ්‍ය වේදියෙක් එයාගෙන් අහනව “ලෝක ප්‍රසිද්ධ උසේන් බෝල්ට්ව දෙවනි තැනට ඇදල දාල ලෝකයේ වැඩිම පදක්කම් දිනූ පුද්ගලය විදිහට ඔබට දැනෙන්නෙ මොකද්ද ” කියල.
ඇලිසන් කියනව.. “මේ කිසිම දෙයක් බෝල්ට්ගෙ හැකියාව හා ලබාගත් දේවල් එක්ක සංසන්දනය කරන්න බැහැ. ඔහු මළල ක්‍රීඩාවට කරපු සේවය අද්විතීයයි. මම කිසිම විටක හිතන්නෙ නෑ මම බෝල්ට්ව පහු කරගෙන ගියා කියල. මේ ජයග්රහන එකිනෙකට වෙනස්.”
“මං සන්තෝස වෙනව ඔහු වැනි ක්‍රීඩකයෙකුගේ සමකාලීනයකු වීමට ලැබීම ගැන.”
ඇලිසන් තරඟ කරපු සහාය දිවීම් ඉසව් ( මීටර් සීය හතර, හා හාර්සීය හතර ) ඇමරිකා එක්සත් ජනපදය පරාද වුනා නම් ඒ බොහෝම කලාතුරකින්. මීටර් 100, 200 හා 400 තරඟ තුනෙන්ම ලෝකයේ ඔලිම්පික් නියෝජනය කල ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් බිහි වන්නෙ ඉතාම කලාතුරකින්. ( අනූව දශකයේ මීටර් 100, 200, 400, 800 යන හතරේම ජාතික ශූරිය වූ ජයමිණි ඉලේපෙරුම ක්‍රීඩිකාව මතක් කිරීම එයාට කරන ගෞරවයක් වේවි.)
ඇලිසන්ගේ පෞද්ගලික දක්ශතා මෙහෙමයි
මීටර් 100. තත්පර 10.89
මීටර් 200 තත්පර 21.69
මීටර් 400. තත්පර 49.26

ඊට අමතරව ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ දෙවනි කඩ ඉම දුවපු ඇලිසන් තත්පර 47.89 ක කාලයක් වාර්ථාකිරීම සුවිශේෂයි. එයා තබපු වාර්ථා ගැන ලියන්න ගියොත් මේ පිටුවෙ ඉඩක් නැති වෙනව. නමුත් මීටර් 100x 4 සහාය දිවීමේ තරඟයේ ලෝක වාර්ථාව වගේම ඔලිම්පික් වාර්ථාවත් ඇලිසන්ගෙ නමත් එක්කයි සටහන් වෙන්නෙ.
මීටර් හාරසීය කියන්නෙ ඉතාම වෙහෙසකාරී ඉසව්වක්. විශේෂයෙන්ම අන්තිම මීටර් සීයට අවතීර්න වෙද්දි ලැක්ටික් ඇසිඩ් ශරීරය පුරාම දුවන්න ගන්නව. ඔක්සිජන් මද කමින් පෙනහළු පීඩනයට පත්වෙනව.. හුස්ම ගැනීම පාලනය කරන්න බැරි වෙනව.. කොටින්ම කිව්වොත් අවසන් මීටර් විස්ස දුවන්නෙ ශාරීරික හැකියාවත් වඩා මානසික ශක්තියෙන්.
මීටර් 100, 200, 400 ඉසව් තුනෙන්ම ලෝක මට්ටමේ ඉඅහලින්ම රැඳෙනව කියන්නෙ හිතා ගන්නත් බැරි තරම් අපහසු කාර්යයක්.
ඇලිසන් ගැහැණියක් හෝ කාන්තාවක් විදිහට වැදගත් වෙන්නෙ කොහොමද කියන එක තවත් විශේෂ කාරනයක්. ලෝක ප්‍රකට දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිතරම අපිට දකින්න පුළුවන්. ඒ අය යනව එනව. නමුත් තමන් නියෝජනය කරන පිරිස වෙනුවෙන් හඬ නගන.. කතා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතාම අඩුයි.
ඇලිසන් වගේ ක්‍රීඩිකාවන් වැටුප් ලබන්නෙ අනුග්රාහකයන් මාර්ගයෙන්. ලංකාවෙ ක්‍රීඩිකාවන්ට නම් ක්‍රීඩාවෙ යෙදෙන්න සිද්ධ වෙන්නෙ වෙනත් රැකියාවක් කරන ගමන්.. එක්කො හමුදා තුනෙන් එක්කට එකතු වෙන්න ඕනෙ නැත්තං ශාරීරික අභ්‍යාස තනතුරක් දරන්න ඕනෙ.
ඇලිසන්ගෙ අනුග්‍රාහකයා තමයි ලෝක ප්‍රසිද්ධ නයික් ( Nike) සමාගම. මේ වගේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩිකාවකට ලොකු වියදමක් යනව. නමුත් නයික් වගේ සමාගමකට මේක බොහොම සුළු මුදලක්. හැබැයි කුමන හේතුවකට හෝ ක්‍රීඩා කරන එක නැවැත්තුවොත් මේ අයට වැටුප නැතිවෙනව. 2018 දී ඇලිසන් ෆීලික්ස් විවාහ වෙනව. ඒ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ වෙද්දි එයා දැනගන්නව එයාට දරුවෙක් ලැබෙන්න ඉන්න බව.
නමුත් ඇලිසන් මේක රහසක් විදිහට තියාගන්නෙ නයික් සමාගමට අයිතිය තියෙන හින්ද අනුග්‍රාහක ගිවිසුම අවලංගු කරන්න. එහෙමත් නැත්තං වැටුප් කප්පාදුවක් කරන්න. වසර තිස් ගනනක වයසත් එක්ක ඉහලම තලයේ දක්ශතා දැක්වීම ලේසි පහසු කාරණයක් නෙවේ .. ඒකට විශාල වියදමක් යනව. මේ වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරුවන්ට , චිකිත්සකයන්ට.. කළමණාකරුවන්ට වැටුප් ගෙවන්නෙ වගේම පුහුණු වීම් වියදම් වගේම අනෙකුත් සියළුම වියදම් දරන්නෙ මේ අනුග්රාහකයන් විසින් ගෙවන මුදලින්. සිව් මස් ගැබිනියක්ව සිටියදීත් ඇලිසන් තරඟ වලට සහභාගි වෙනව.
කොයිතරම් ධනවත් හෝ ප්‍රසිද්ධ වුනත් ඇමරිකානු කලු ජාතික කාන්තාවන් තවමත් දෙවනි පංතියේ වැසියන්.
ඒ නොසැලකිලිමත් කම නිසාදෝ එයාගෙ දොස්තර මහත්තයාට මගෑරෙනව සමහර පරීක්ශණ. අන්තිමේදී පරක්කු වෙලා හොයා ගන්නව ඇලිසන්ගෙ උපදින්න ඉන්න දරුව ඉතාම දුර්වල බව. ඒ වගේම අඩු හෘද ස්පන්දනයෙන් පෙළෙනව කියල. මේ වෙද්දි එයාගෙ දරු ගැබට මාස අටක්වත් නෑ.දොස්තර වරුන්ගේ නිගමනය හැකි ඉක්මනුන් දරු ගැබ ඉවත් නොකලොත් අම්මගෙ හා දරුවගෙ ජීවිතේ දෙකම අණතුරේ කියල. ඇලිසන්ට මේ තීරණේ දරාගන්න බෑ. ඒ එක්කම හිතා ගන්න බෑ දොස්තරවරු මේ තරම් පරක්කු වෙනකල් මොකද කලේ කියල.
එයා තීරණය කරනව තව දවස් කීපයක් ඉඳල සීසර් සැත්කමක් කරල දරුවව බේරගත යුතුයි කියල.ඒ එක්කම ඇලිසන් ෆීලික්ස්ගෙ රහස මාධ්‍ය පුරාම ප්‍රසිද්ධ වෙනව. ප්රථිඵලය මොකද්ද… නයික් සමාගම ඇලිසන්ගෙ වැටුපෙන් සීයට 60 ක් කපා හරිනව දඩ මුදලුත් එක්ක.
වාසනාවට සීසර් සැත්කම සාර්ථක උනත් අඩු වයසින් ඉපදෙන පොඩි කෙල්ල හරිම දුර්වලයි. බර අඩුකම.. අඩු හර්ද ස්පන්දනය.. ප්‍රථිචාර නොදැක්වීම වගේ බොහොම රෝග ලක්ශන එක්කයි මේ දරුව ජීවත් වෙන්නෙ . ඒ ජීවත් වෙන්නෙත් කෘතිම ස්වසනය දෙන යන්ත්‍ර උදව්වෙන්. හැම අම්ම කෙනෙක්ම වගේ ඇලිසන් බලාපොරොත්තු අතාරින්නෙ නෑ. රෑ දවල් දෙකේම ඇලිසන් නෙවේ දරුවගෙ ලෙඩ ඇඳ ලගින් හෙලවෙන්නෙ.

ඇලිසන්ගෙ ප්‍රසිද්ධියටත් වඩා මනුස්සකම හා නිහතමානීකම නිසා ලෝකෙ පුරා ඉන්න විශේෂඥ්ඥ වෛද්‍යවරු එයාගෙ උදව්වට එන්නෙ බොහෝ අයගෙ ඇස්වලට කඳුළු එක් කරමින්.
ඒ එක්කෙනෙක් ජැමෙයිකානු වෛද්‍යවරයෙක්.. තව එක්කෙනෙක් ඇලිසන්ගෙ නිහතමානී කමට ආදරේ කරපු ජපන් ළමා වෛද්‍ය විශේෂඥ්ඥයෙක්. නවසීලන්තයේ ඉඳල විශේෂ වෛද්‍යවරියක් පැමිනෙන්නෙ කිසිම කෙනෙකුගේ ඉල්ලීමකට නෙවේ ස්වේච්ඡාවෙන්. එයාගෙ කැපකිරීම වගේම ,හැමෝගෙම උදව් මැද්දෙ අම්මයි දරුවයි දෙන්නම බේරෙනව.
මාස කීපයකට පස්සෙ පොඩි එකාව ට්‍රොලි එකක දාගත්ත ඇලිසන් ධාවන පථයේ පුහුණුවීම් වලට එනව.



මේ වෙද්දි වෙනත් ප්‍රසිද්ධ ආයතන ඇලිසන්ට අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වුනත් එයා තීරණය කරනව ලෝක ප්‍රසිද්ධ නයික් සමාගමට එරෙහිව නඩු පවරන්න.
මේක කලු ගලේ ඔලුව ගහ ගැනීමක් හැමෝම කියනව.
නයික් කියන්නෙ ලොව පුරා ප්‍රචලිත විශාල බූවල්ලෙක් වගේ සමාගමක්. නීති උපදේශකයින්.. ප්‍රසිද්ධ දේශපාලකයින්.. ව්‍යාපාර විශේෂඥ්ඥයින්ගෙන් සමන්විත නයික් කියන්නෙ ඉතාම බලවත් සමාගමක්.. සමාජයක්. ඇලිසන් ඇමරිකානු කොන්ග්‍රසයට ලියුමක් ලියනව තමන්ටත් සියළුම කාන්තාවන්ටත් වෙන අසාධාරණය ගැන කියල. ඒ අතරෙම ෆෙඩරල් උසාවියේ නඩු දානව නයික් සමාගමට එරෙහිව.
ඇමරිකානු කොන්ග්රසය හමුවේ ඇලිසන් කරන කතාව අහගන ඉන්න බොහෝ දෙනෙක්ට ශක්තිය නෑ.



ඇය කියනව… “මහත්වරුනි මම නුඹලාගේ අනුකම්පාව අයදින්නෙ නෑ. ඒත් මට දැනගන්න ඕනෙ මම ගැහැණියෙක් වෙලා ඉපදුනු එක වරදක්ද.. මම අම්ම කෙනෙක් වුණු එක වරදක්ද මගේ වැටුප කප්පාදු කරල මට දඩ ගහන්න.”
“ඔව් මම බය උනා.. මගෙ වැටුප නැති වෙනවට.. මගෙ අනුග්‍රාහකය නැති වෙනවට මම බය උනා.”
” මුළු ලෝකයක් මගේ දිහා බලන් ඉන්නව.. ලෝකෙ එහා කොනක පුංචි රටවල මිනිස්සු පවා මම දිනන තෙක් බලාගෙන ඉන්නව. ඒ අයගෙ බලාපොරොත්තු වගේම මා වෙනුවෙන් වැඩ කරන මගේ කන්ඩායමේ බලාපොරොත්තු තියෙන්නෙත් මගේ ධාවනයේ හා මගේ ශාරීරික මානසික හැකියාව තුල.”
“ අනිත් හැම රැකියාවකම කාන්තාවක් ගැබ් ගත්තම වැටුප ගෙවනව.
ඇයි මට මගෙ වැටුප අහිමි වෙන්නෙ.? ඇයි මම දරු ගැබ හංග ගෙන පිට්ටනි ගානෙ දිව්වෙ.?

” මතකද මගේ සහෝදර ක්‍රීඩිකාවක් වූ ඇලීශියා මොන්ටානෝ අට මස් ගැබිනියක්ව සිටියදීත් ජාතික තරඟ වල ධාවනය කලා.. නුඹලා එදා කීව ක්‍රීඩාවට ආදරේ අපූරු ක්‍රීඩිකාවක් කියල… නමුත් ඇත්තටම එයාට ධාවනයේ යෙදෙන්න සිද්ධ වුනේ ඇයි කියල නුඹලා හොයල බැලුවද..?
මහත්වරුනි නුඹලාට දුක හිතෙනවද..?
“මට ඒක අවශ්‍ය නෑ”.
නුඹලට ලැජ්ජ හිතෙනවද?.. ඔව් අන්න එතනටයි මං කතා කරන්නෙ.”
“එදා ඉඳලම කලු ගැහැණියට නුඹලා දුන්නෙ කුඩම්මගෙ සැලකිලි. “
“කලු ගැහැණියට විතරක් නෙවේ.. ඔනෑම ගැහැණියක් පහත් කරල සලකන්න උඹලා පසුබට වෙන්නෙ නෑ”
“උඹල කියන්නෙ මේ නීතිය කියලද.. එහෙනම් නීතිය වෙනස් කරපල්ල. උඹලයි නීති හදන්නෙ .. ඒකයි මං උඹලට කතා කරන්නෙ.”
“මං කතා කරන්නෙ මං ගැන විතරක් නෙවේ… මගෙ දරුව වෙනුවෙන්.. හෙට ඉපදෙන්නෙ ඉන්න ගෑණු දරුවන් වෙනුවෙන්. ඒකට කළු සුදු භේදයක් නෑ. අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නවනම් උඹල දඩ ගහනව. මේකද උඹලගෙ ශිෂ්ඨාචාරය..” කොංග්රස් මණ්ඩලයේ කිසිම කෙනෙකුට මේ ප්‍රශ්ණ වලට උත්තර නෑ.
මෙතන්දි තවත් ලස්සන දෙයක් වෙනව.. කොන්ග්රසය ඉස්සරහදිත් .. අධිකරණයෙදිත් ඇලිසන්ගෙ උදව්වට.. පිහිටට එනව ඇගේ ධාවන සගයෙක් වගේම එදිරිවාදියෙක් වූ සානියා රිචර්ඩ්ස් රෝස්. ( Sanya Richard Ross).
ඇය කියන කතාව කිසිම කෙනෙක්ට අහගෙන ඉන්න පුළුවන් එකක් නෙවේ.
මළල ක්‍රීඩාවට ආදරේ අය දන්නව මේ කවුද කියන්න .. පහුගිය දශකයේ බිහිවුනු විශිෂ්ඨතම මීටර් 400 දුවන ක්‍රීඩිකාව වූ සානියා 2012 ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්ත.
සානියා රිචර්ඩ්ස් රෝස්




ඇය කියනව..
“මහත්වරුනි නුඹලා මට සාප කරයි.. නෝනාවරුනි නුඹලා මට ගල් ගහයි.. ඒත් ඇත්ත මේකයි .. ඔලිම්පික් දිනන්න තිබ්බ උවමනාව නිසා.. ලෝක මට්ටමේ හොඳම ක්‍රීඩිකාව කියල ඔප්පු කරන්න ඕනෙ නිසා මම ඒ ඒ දේ කරා. “ ” අනුග්‍රාහකයාගෙන් දඬුවම් විඳල මගේ පවුලත්.. මගේ කන්ඩායමත් අසරන කරන්න බැරි නිසා මට ඒ දේ කරන්න සිද්ධ වුනා.”
“2008 ඔලිම්පික් වලට මාස හයක් තියෙද්දි මං මගේ පලමු දරු ගැබ ගබ්සා කරා. ඒ වෙද්දි ලැබෙන්න හිටපු පොඩි එකාට මාස දෙකයි. මං දන්නව උඹල මට සාප කරන බව. මාත් මට සාප කරා.
( 2008 ඔලිම්පික් නරඹපු අයට මතක ඇති මීටර් 400 ධාවනන තරෞගයේදී සානියා රිචර්ඩ්ස් අන්තිම මොහොත කිට්ටුවට එනකල් ඉදිරියෙන්ම ඇවිත් පරාද වූ ආකාරය.)
“නුඹල දකින්න ඇති මං පරාද උනු විදිහ.. ඒ තමයි මං කරපු වරදට මං වන්දි ගෙවපු විදිහ. මේ දේ ඇලිසන්ටවත් තවත් ක්‍රීඩිකාවකටවත් වෙන්න දෙන්න එපා. අපි ලෝකය දිනුවට අපිත් සාමාන්‍ය ගැහැණු. අපි අනුකම්පාව ඉල්ලන්නෙ නැහැ. නමුත් අපේ තැන අපිට තියන්න කියලයි අපි ඉල්ලන්නෙ. “ ඒ සානියාගෙ වචන.
” රූපවාහිනී තිරයෙන් අපිව දකිද්දි නුඹල හැමෝම ඔල්වරසන් දෙනව.. පදක්කම් දිනද්දි ඒ අපේ රට දිනුවෙ කියල උඹල ආඩම්භර වෙනව… නමුත් අපි විය්දින දුක.. අසාධාරනය ගැන නුඹල නිකමටවත් හොයල බැලුවද..? “




ඒ එක්කම මීටර් 800 ධාවන් ශූරී ඇලිසියා මොන්ටානෝ (අට මස් ගැනිනියක්ව ඉද්දිත් තරඟ කරපු ක්‍රීඩිකාව) වගේම ලෝක ප්‍රසිද්ධ ශර්ලි ඈන් ෆ්රේසර් අලිසන්ගෙ සහයට එනව.
ඇලිසියා මොන්ටානෝ


ප්රථිඵලය සුන්දරයි… නීති වෙනස් වෙනව. නයික් සමාගම ගැබිනි මව්වරුන්ට ( ක්‍රීඩිකාවන්ට) එරෙහිව තිබ්බ නීති වෙනස් කරනව.
ඒ එක්කම නීති වෙනස් කරපු නයික් සමාගම ඇලිසන්ට ආයෙත් ලොකු මුදලක් එක්ක ගිවිසුමක් පිරිනමනව. ඒ මිලියන ගණනක කොන්ත්‍රාත්තුව ප්‍රථික්ශේප කරමින් ඇලිසන් කියන්නෙ “එදා අම්ම කෙනෙක් වුණු නිසා නුඹල මාව ප්‍රථික්ශේප කරේ කෙසේද ඒ විදිහටම මම අද නුඹලාව ප්‍රතික්ශේප කරනව.” ඒ විතරක් නෙමේ උඹල ගැහැණියකගේ ශක්තිය හෑල්ලු කරා. ඒ නිසාම මම අලුත් ක්‍රීඩා ඇඳුම් සමාගමක් පිහිටුවනව කියල. මගේ කුඩා ව්‍යාපාරයට නුඹලගේ විශාල සමාගමත් එක්ක තරඟ කරන්න බෑ.. නමුත් ඒක මගේ ව්‍යාපාරය. ප්‍රථික්ශේප කරපු කුඩා ගැහැණියකගේ ව්‍යාපාරය. “
ඇත්තටම ඇය ඒක කරා. ඒ විතරක් නෙමේ .. ජීවිතේ බේරගන්න සටන් කරල මාස ගණනකට පස්සෙ දෝහා ලෝක මළල ක්‍රීඩා ශූරතාවයේදී ඇලිසන් තවත් රන් පදක්කම් දෙකක් එකතු කරා සහාය දිවීමේ ඉසව් වලින්.
පහුගිය මාසෙ ඔරෙගන් ප්‍රාන්ථයේ තිබ්බ ඔලිම්පික් තේරීම් තරඟ වලදී ඇලිසන් මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබුවේ දෙවැනි තැන ලබමින්. මුළු ක්‍රීඩාංගනය පුරාම ඇලිසන්ට ලැබුණු දිරිගැන්වීම පුදුමාකාරයි.
“මට මේ තරම් මිනිස්සු ආදරේ කරන එක ප්රාථිහාර්යක් වගේ. කොහොමද මං නොදුව ඉන්නෙ.. “
ඇලිසන් මාධ්‍ය වේදියෙකුට උත්තර දෙමින් කියනව.
ඇලිසන්ගෙ වයස අවුරුදු 36 ට කිට්ටුයි. ශෝන් මිලර් වගේ ක්‍රීඩිකාවන් එක්ක දුවල ඇලිසන්ට මෙවර ඔලිම්පික් දිනන්න බැරි වෙයි. ඇලිසන් මෙතෙක් මේ ලෝකයේ බිහිවූ සාර්ථකම මළල ක්‍රීඩිකාවයි.
කෙට්ටුම කෙට්ටු චිකන් ලෙග්ස්.. ලෝකය දිනපු හැටි හරි අපූරුයි. මේ සටහන… දක්ශ ක්‍රීඩිකාවක්.. අම්ම කෙනෙක් වගේම ආදර්ණීය ගැහැණියක් වූ ඇලිසන් ෆෙලික්ස් වෙනුවෙන්.
22.06.2021 ©

…………………………………………
මේ සටහන තිබ්බෙ ගිය අවුරුද්දෙ , ඒ කියන්නෙ 2021 ජූනි මාසෙදි.
අපි කතා කරපු විදිහටම ඇලිසන් ෆෙලික්ස් ඔලිම්පික් උළෙලට සහභාගි වුනේ ඇමරිකානු කන්ඩායමේ වයසම ක්‍රීඩිකාව විදිහට.
” මේක මහ පුදුමයක්… 2004 ඔලිම්පික් උළෙලට යද්දි මම කන්ඩායමේ ලාබාලම ක්‍රීඩිකාව.. 2022.. මේ අවුරුද්දෙ මම වයස්ගතම ක්‍රීඩිකාව.” මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කමත්.. මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් දිනා ගන්න ඇලිසන් සමත් වෙනව.එතනින් නොනැවතුනු ඇලිසන් ෆෙලික්ස් 2022 ලෝක මළල ක්‍රීඩා ශූරතාවයේදී තවත් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් එකතු කරගන්නෙ සහාය දිවීම් ඉසව් වලින්.
2021 ඔලිම්පික් ශූරතාවලියේ මීටර් 400 අවසන් තරඟයට කලින් දවසෙ ඇලිසන් හරි අපූරු පනිවිඩයක් තියනව එයාගෙ ෆේස්බුක් ගිනුමේ. ඒ සටහනේ කතා කරන්නෙ බය හා හීන ලුහුබැඳීම ගැන.
ඒ සටහනේ පරිවර්තනයක් මේ ලිපියෙ අවසානයට එකතු නොකලොත් ඒක ලොකු අඩුවක්.

බය…
ධාවන පතයට බැහැල තරඟයකට සුදානම් වෙන වෙලාවෙ මට පොඩි බයක් දැනෙනව.
අවංකවම කියනවනම් ටිකක් නෙවෙයි .. මට ඒ බය හොඳටම දැනෙනව.
මම කිසිම දවසක මගෙත් එක්ක දුවන තරඟ කාරියන්ට බය නෑ.
සත්තයි.
මං ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක් එක්ක දුවන්න ඔට්ටු කෙල්ලෙක්. ඒත් මං බයයි තරඟය පටන් ගන්න කලින්.
පහුගිය කාලෙ මං බොහෝ දෙනෙක්ට පැරදුනා.
මම ඒ පරාජයන් නිහඬවම දරාගත්ත.
ඒත් තරඟ වලට පස්සෙ ඒ අය රැවටීම් කරල තිබුන…. අනිත් අයට බොරු කියල රවට්ටල තිබුන.
සමහර අය උත්තේජක ගත්ත කියල ඔප්පු වුනා.
ඇත්ත.. ඒ අයට අසාධාරන වාසියක් තිබුන අපි තරඟෙට මූණ දෙන්න පෙල හැදෙද්දි.
ඒකෙ මට ඇති දෙයක් නෑ.. මං ඒ අයට බය වුනේ නෑ…
ඉදිරියටත් මං එක්ක දුවන තරඟ කාරියන්ට මං බය වෙනවද..
අපොයි නෑ.
මං පරදින්න බයද… නෑ කොහොමත් නෑ.
මං දිනපු තරඟ වලට වඩා මං පැරදුන තරඟ වැඩී..
ජීවිතේ එහෙමයි… මං හිතන්නෙ එහෙම තමයි විය යුතු.
මගේ ජීවිතේ මං බොහෝම ලොකු පාඩම් ඉගෙන ගත්ත පරදින එකෙන්.
දිනුමක් ලබා ගත්තට පස්සෙ.. ඉලක්කයකට ලඟා වුනාට පස්සෙ ලබාගත් දේට වඩා.. ඉලක්කයක් කරා යන ගමනෙදි මං ලබාගත් දේ නම් බොහෝමයි.
මම පෙල ගැහෙනව තරඟෙට…
මම ලෑස්ති වෙනව දුවන්න.
මං මගේ හිතේ තියන උපරිමය ..
මගෙ ඇඟේ තියන උපරිමය දෙනව.
මගෙ කකුල් දෙකේ තියන අන්තිම හයිය දක්වා මං වැය කරනව….
දිනුව හෝ පැරදුම මොනව වුනත්.
ඒත් මං අද බයයි….
මේ වෙලාවෙ මට තනියි..
මං බයයි මාව විශ්වාස කරන අයගෙ ඒ විශ්වාසෙ බිඳින්න..
මං බයයි මා කෙරෙහි ඇති මගෙ විශ්වාසය බිඳින්න.
වුරුදු විස්සකට වැඩිය මං මේ ධාවන පතයේ හිටිය.
ඒ ඔක්කොටම පස්සෙ ජීවිතයේ අන්තිම තනි ධාවන ඉසව්වට හෙට මං මූණ දෙනව.
මෙච්චර කාලයක් ඔළුව කෙලින් තියාගෙන උසස්ම මට්ටමෙන් තරඟ වැදුනු මගේ ගෞරවය ඔට්ටුවට තියන තරඟෙට මට හෙට සහභාගි වෙන්න වෙනව.
මගේ නම හෝ කීර්තිය… හෙට තරඟයේ ජයග්‍රහනය හෝ පරාජය මත රඳා පවතින බව හිතුවම මට බය හිතෙනවද.?
ඒත් මේ මොහොතෙ ඈතින් පේන ඔලිම්පික් ක්‍රීඩාංගනය දිහා බලමින්
මම මට කියනව… උඹගෙ ඒ බය පැත්තකින් තියපන්..
උඹ මේ වනතෙක් කල දේවල් හොඳටම ඇති. උඹ මට වටිනව.
අද රෑ.. මේ මොහොතෙ මම මේ සටහන ලෝකෙට මුදා හරින්නෙ මං වෙනුවෙන් නෙවේ.
මං මේ සටහන තියන්නෙ තමන්ගෙ වටිනාකම තමන් දිනපු පදක්කම් සංඛ්‍යාවෙන් තීරනය කරන ඔනෑම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවන් වෙනුවෙන්.
මං මේ සටහන තියන්නෙ තමන්ගෙ විවාහයෙන් හෝ දරුවන් සංඛ්‍යාවෙන් තමන්ව මනින්න උත්සාහ කරන ගැහැනුන් වෙනුවෙන්.
මං මේ සටහන තියන්නෙ රූපවාහිනී තිරයේ පෙනෙන ගැහැනුන් හෝ මිනිසුන්
තමන්ට වඩා වෙනස් හෝ උසස් යැයි සිතන අය වෙනුවෙන්.
මමත් උඹ වගේමයි… උඹත් මං වගේමයි
අපි බයයි….
නමුත් නුඹ ගැන නුඹ සෑහීමකට පත්විය යුතුයි.
නුඹේ වටිනාකම නුඹ දැනගත යුතුයි.
ඒ නිසා අනිත් මිනිසුන් නුඹ මත පටවන ලද බර අහකින් තියපන්.
නුඹ මත ගොඩගහපු බර පැත්තකින් තියපන්…
හොඳින් මතක තියා ගනින් බයේ අනික් පැත්ත නිදහස කියල.
එලියට අඩිය තියපං..බය නැතිව එලියට අඩිය තියපං….
උඹ දකින හීන තරමට උඹව වටිනව.උඹේ වටිනාකම අමතක කරන්න එපා.
…………..
ඇලිසන් ෆෙලික්ස්. ඔලිම්පික් ගම්මානයේ සිට. මීටර් 400 අවසාන තරඟයට පෙර රාත්‍රියේ.
.(….ඇලිසන් ෆෙලික්ස්ගේ පිටුවෙන් උපුටා ගන්නා ලදි. ………..)




ඇයි මම මේ සටහන තබන්නෙ?. කාලයක් තිබුන ක්‍රීඩක ක්‍රීඩිකාවො හිතන දේ කියන්න පුළුවන් මාධ්‍ය කරුවන්ට විතරයි. නමුත් මේ සමාජ මාධ්‍ය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙලින්ම තමංට ඔන්නෙ දේ කියන්න පුළුවන් කතෲ මණ්ඩලයේ කැපිලි වලට අහු නොවී. ඒ වගේම මේ වගේ අවංක හිතට කතා කරන සටහනක් කිසිම කෙනෙක් ලේසියෙන් එලියට දෙන්නෙ නෑ. විශේෂයෙන්ම ලෝක ප්‍රසිද්ධ අයෙක් නම්.
එයා කියන්නෙ මමත් උඹ වගේමයි.. අපේ වෙනසක් නෑ.. බය ..දුක ..සතුට.. ජය .. පරාජය.. අපි ඔක්කොටම එකයි. ඒ නිසා උඹේ වටිනාකම අමතක නොකර හීන ලුහුබැඳපන්.. බය වෙනුවට නිදහස තෝර ගනින් කියල. තමංගෙ ජීවිතෙත්.. දරුවගෙ ජීවිතෙත් බේරගෙන… වෙළඳ සමාගම් වල.. පුරුශ මූලික සමාජයේ කෙනෙහෙලිකම් විඳල හැමෝගෙම ඉහ මොල උඩින් පැනගෙන ඇවිත් ඈ පහුවදා ලෝකඩ පදක්ක්ම දිනා ගත්ත.
ඒ පදක්ක්ම රන් පදක්කම දහයකට වඩා වටිනව. ඒ පිටි පස්සෙ තියන කතන්දරේට මිලක් නෑ.
ඒකයි ඇලිසන්ගෙ මේ සටහනේ තියන වටිනාකම.අපි හැමෝම එක වගෙයි…
හීන ලුහු බඳින්න බය වෙන්න ඕනෙ නෑ.




ඇලිසන් ක්‍රීඩා පිටියෙන් සමුගැනීම ගැන ලෝකයේ මාධ්‍ය පුරාම විවිධ සටහන් තියනව.
අවුරුදු විස්සක් තිස්සෙ ලෝක ධාවන පතයෙ දැකපු ඇලිසන් ෆෙලික්ස් අයිකොන් එකක් එහෙමත් නැත්නම් ක්‍රීඩාවේ සංඛේතයක්.
ඒ අඩුව පුරවන්න තවත් ක්‍රීඩිකාවකට පුළුවන් කමක් නෑ.
ස්තුතියි මේ සියළුම මතකයන්ට.

Leave a comment