චිත්‍රයක කතාවක්…

Her Name is Ruby.

ඉස්කෝලෙ යන පොඩි දැරිවියක්ට වදින කුණු තක්කලි ගෙඩියක්.. ඒක හිත රිදෙන කතාවක්.

මේ චිත්‍රය මුලින්ම මගේ ඇහැ ගැහුනෙ  අප්‍රිකානු රටක් වෙච්ච ටෝගෝවේ , හරියටම කිව්වොත් ලෝමෙ නගරයේ මුඩුක්කු වීදියකදි. 
ඒක ඇඳල තිබ්බෙ තාප්පෙක.

දැන් අහන ප්‍රශ්ණය කොහෙද මේ ටෝගෝව තියෙන්නෙ. ටෝගෝව බටහිර අප්‍රිකානු රටක්. දුප්පත් කමින්.. යුද්ධයෙන්.. සාගින්නෙන් පෙලෙන බටහිර අප්‍රිකානු රටක්.
මං නිකමට හිතුවෙ මේක අප්‍රිකානු වීදි චිත්‍ර ශිල්පියෙක්ගෙ ස්වතන්ත්‍ර නිර්මාණයක් කියල. ඒත් ඒ චිත්‍රෙ තිබුනු අපූරු ජවය..ශක්තිය හින්ද මං ඒකෙ පිංතූරයක් අරං ලඟ තියාගත්ත.

පස්සෙ දවසක මිත්‍රයෙක්ට ඒක පෙන්නුවාම මිනිහ කීව  “මේක මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක්නෙ.”
ඔය චිත්‍රයේ නම…….  “The Problem we all live with” අවුරුදු පනහක් විතර පැරනි චිත්‍රයක් ඕක.

එදා නම් සෑහෙන්නෙ ලැජ්ජ හිතුන. මේ සිද්ධිය වුනේ 2008 අවුරුද්දෙ මැයි මාසෙ අන්තිමට.  මේ චිත්‍රය ගැන නිකමට හොයල බලද්දි තමයි මේ පිටුපස්සෙ තියන ලස්සන කථාංදරය දැන ගන්න ලැබුනෙ. 
මේ යුරෝපයේ පදිංචියට ආපු මුල් කාලෙ වගේම රටින් රට සංචාරය කරන්න පටන් ගත්ත මුල් අවධිය  නිසා චිත්‍ර හා කලා නිර්මාණ ගැන දැනුම බොහොම සීමිතයි.

මේක ඇත්ත කථාවක්.

මේ චිත්‍රයේ ඉන්නෙ පුංචි කළු කෙල්ලගෙ නම රූබි බ්‍රිජස්.  ( Ruby Bridges).
1954 අවුරුද්දෙ ඇමරිකා එක්සත් ජනපදයෙ මිසිසිපි ප්‍රාන්ථයේ තමයි රූබිගෙ උපත. අපි කවුරුත් දන්නව මේ කාලෙ ඇමරිකා එක්සත් ජනපදයෙ කළු ජාතිකයන්ට සලකපු විදිහ. විශේෂයෙන්ම මිසිසිපි වගේ දකුණේ ප්‍රාන්ථවල මේ වර්ණභේදවාදය ඉතාම දරුණු විදිහට ඔඩු දුවල තිබුන.

විල්මා රුඩොල්ෆ්.. ජෙසී ඕවන්ස් රෝසා පාර්ක් වගේ අය ගැන කතා කරද්දි අපි මේ කාලය ගැන පොඩ්ඩක් සාකච්ඡා කලා අපිට මතකයි.
මේ කාලෙ කළු ජාතිකයන්ට කිසිම අවස්ථාවක් තිබුනෙ නෑ සුදු ජාතිකයන්ට අයිති පහසුකම් ලබාගන්න.  රෝහල්, පාසැල්, හෝටල් ගමනාගමනය වගේ හැම දෙයක්ම සුදු ජාතිකයන්ට විශේෂ පහසුකම් සහිතව වෙනම සපයල තිබුන. ඒ පහසුකම් භුක්ති විඳින්න කළු ජාතිකයන්ට බැහැ. ඒ අයට වෙනම සුළු පහසුකම් සපයල තිබුන.
රූබි ඉපදුනු අවුරුද්දෙ.. ඒ කියන්නෙ 1954 අවුරුද්දෙ තවත් ලස්සන සිදුවීමක් උනා.  ඒ තමයි බ්‍රවුන් එදිරිව බෝඩ්  තීන්දුව.  ( Brown v Board  Educational)  කළු ජාතික දරුවන්ට සුදු ජාතිකයින්ට සීමාවෙච්ච පාසැල් වලට යාමට ඉඩ නොදීම ව්‍යවස්ථාවටත් ,නීතියටත් පටහැනියි කියල මේ නඩු තීන්දුව දීල තිබුන. නමුත් මේ නඩු තීන්දුවෙන් ඇමරිකානු සමාජය වෙනස් වුනේ නැහැ. 

පුරුදු විදිහටම සුදු ජාතිකයන්ගේ පාසැල් වලට කලු උන්ට ‍යන්න ඉඩක් තිබ්බෙ නෑ.

1959 දි ..අවුරුදු 5ක් වයස රූබි තරඟ විභාගයෙන් සමත් වෙනව සුදු ජාතිකයන්ට පමනක් වෙන්වුනු නිව් ඕර්ලියන්ස් නගරයේ විලියම් ෆ්‍රාන්ට්ස් පාසැලට  ඇතුලත් වෙන්න. රූබිගෙ තාත්ත අකමැති උනත් එයාගෙ අම්මගෙ පෙරැත්තයට තාත්තත් එකඟ වෙනව.
එයාගෙ අම්ම කියන්නෙ “නීතියෙන්ම කියල තියනව මගෙ කෙල්ලට මේ ඉස්කෝලෙට යන්න අවසර තියනව, පොඩි කෙල්ල තරඟ විභාගෙනුත් සමත්. අපි එපා කිව්වොත් අසාධාරණේ වෙන්නෙ පොඩි එකීට විතරක් නෙමේ කළු පොඩි උං ඔක්කොටම.”

අන්තිමේදී රූබි මේ ඉස්කෝලෙට යන්නෙ එෆ් බී අයි නිළධාරීන්ගෙ   රැකවරණ මැද්දෙ.  හේතුව නිමක් නැති මරණ  තර්ජන, පැහැර ගැනීමේ තර්ජන. ඒ යද්දිත් මග දිගට පරුශ වචන.. අපහාස කෙලවරක් නෑ.

රූබිගෙ පංතියේ හිටපු ඔක්කොම සුදු ළමයි ඒ පංතියෙන් අයින් කර ගන්න එයාලගෙ අම්මල තාත්තල කටයුතු කරනව.

මේ පොඩි කෙල්ලගෙ පංතියේ ඉතුරු වෙන්නෙ එයා විතරයි.

ඒ විතරක් නෙමේ ඔක්කොම සුදු ජාතික ගුරුවරුන් මේ කළු කෙල්ලට උගන්නන්න ප්‍රථික්ශේප කරනව.  නමුත් අපි ජීවත් වන ලෝකය අපි හිතන තරම්ම අඳුරු නැහැ.   එක සුදු ජාතික ගුරුවරියක් කැමැත්තෙන්ම ඉදිරිපත්වෙනව තනියම උනත් මේ ලමයට උගන්වන්න. ඒ තරුණ ගුරුවරියගෙ නම බාබරා හෙන්රි. ( Barbara Henri). අමන මිනිසුන් මැද්දෙ හරිදේ කරන එක් පුද්ගලයෙක් හිටියත් ඒක ලොකු දෙයක්.

ඔන්න…….. රූබි ඉස්කෝලෙ යනව ආරක්ශක නිළධාරීන් පිරිවරාගෙන. පංතියේ ඉන්නෙ එක ළමයයි.. එක ගුරුවරියයි.

එෆ් බී අයි නිළධාරීන් මැද රුබී

මෙන්න මේ සිද්ධිය තමයි නෝර්මන් රොක්වෙල් නම්  ඇමරිකානු  චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද  “අපි හැමෝම ජීවත් වෙන ප්‍රශ්ණය “නම් චිත්‍රයට මුල් වෙන්නෙ. 

මෙන්න මේ චිත්‍රයේ කොපියක් තමයි ලෝමේ මුඩුක්කු වීදියක බිත්තියේ ප්‍රථිනිර්මාණය වෙන්නෙ. අමතක කරන්න එපා රොක්වෙල් සුදු ජාතික චිත්‍ර ශිල්පියෙක්. මේ සිද්ධිය මුල් කරගෙන තවත් කළු ජාතික දරුවන් පාසැල් වලට ඇතුලත් වෙන්න පටන් ගන්නව.  රූබිට එල්ලවෙන මරණ තර්ජන වලින් ඇයව බේරගන්න සමහර සුදු ජාතික කාන්තාවන් පවා පෙරට එනව. ඇය ගිය පාසැල අතහැරල ගිය සිසුන් නැවතත් පාසැලට එනව.
කොහොම නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ මේ “අඳුරු යුගයේ පැල්ලම් “ නම් කවදාවත් මකන්න බැහැ.

මේ සිද්ධියෙන් රූබිගෙ තාත්තට රස්සාව අහිමි වෙනව. අම්ම වැඩ කරමින් හිටපු කුඩා කඩය වහල දාන්න සිද්ධ වෙනව. නමුත් බොහෝ කළු ජාතික පවුල් වගේම සමහර සුදු ජාතිකයින් පවා රූබිගෙ පවුලට උදව් කරනව. මේ කෙල්ල අවුරුදු ගාණක් මේ ඉස්කෝලෙට යනව.   පාසැලෙන් පිටවෙන්නෙ ඩිප්ලෝමාවකුත් එක්කයි.  ඊට පස්සෙ අවුරුදු පහලවක් විතර රූබි රැකියාව කරනව සංචාරක නියෝජිතවරියක් විදිහට.

ඉන් පස්සෙ “රූබි බ්‍රිජස් ෆවුන්ඩේශන් ” ( Ruby Bridges Foundation) නම් අසරණ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින සංවිධානය අරඹන රූබි මානව හිමිකම් නියෝජිතවරියක් විදිහට ප්‍රසිද්ධ වෙනව. 

ටිකෙන් ටික කළු මිනිස්සුන්ට වෙන අකටයුතුකම් වෙනස්කම් අඩුවෙනව.  කාලෙ කොයිතරම් ඉක්මනින් ගතවෙනවද… සමාජය වෙනස් වෙනවද කිව්වොත් කළු ජාතිකයෙකු වූ බැරැක් ඔබාමා ඇමරිකානු ජනාධිපති තණතුරටත් පත්වෙනව

ඈ වෙනුවෙන් ඇඳි සිතුවම වගේම ඇගේ කීර්ති නාමයත් ඇමරිකාව පුරාමත් ලෝකෙ වටේත් ප්‍රසිද්ධ වෙනව. පහු කාලීනව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් රූබිව ධවල මන්දිරයට කැඳවල පවුද්ගලිකවම ප්‍රශංසා කරනව ඇගේ උත්සාහයත් දහිරියත් ගැන.

එක පුංචි නිර්භීත තීරණයක්… ඒ වටා එකතුවූ සුන්දර මිනිසුන් කිහිප දෙනෙක් රටක් වෙනස් කරපු හැටි අපූරුයි. “ඕනෙ වෙන්නෙ හිතේ හයිය හා කැපවීම විතරයි.

රූබිට ඉගැන්වීමට එකඟ වූ එකම ගුරුවරිය බාබරා හෙන්රි සමග 2012 දී.

පුංචිම පුංචි දරුවෙකුට තමන්ගෙ හමේ පාට නිසා තනියම පන්තියක ඉගෙන ගන්න සිද්ධ වුනාම මොනව හිතෙන්න ඇද්ද.? කතා භහ කරන්න යාළුවෙක්… සෙල්ලම් කරන්න කෙනෙක් ඉස්කෝලෙ නැති වුනාම මොන වගේ හැඟීමක් දැනෙන්න ඇතිද?

අවුරුදු ගාණකට පස්සෙ රටේ ජනාධිපතිවරය එක්ක ඒ කාලය ගැන කතා භහ කරද්දි දැනෙන හැඟීම හරි අපූරු එකක් විය යුතුයි.

සමහර සිද්ධීන් වචනයෙන් විස්තර කරන්න අමාරුයි.කවුද කළු.. කවුද සුදු.. එයා ඇමරිකන්ද.. අරය රිපබ්ලිකන්ද…  එයාගේ ආගම මොකද්ද… මේව එකක් වත් අදාල නෑ.

හරි දේ කරපු හිත හයිය කෙනෙක්ගෙ පුංචි කතංදරයක් විතරයි මේ.

නෝර්මන් රොක්වෙල්.. ( ඔහු විසින්ම ඇඳි ඔහුගේ රුව)

නෝර්මන් රොක්වෙල් කියන්නෙ හරි අපූරු චිත්‍ර ශිල්පියෙක්. එයා මුලින්ම හදාරනව එයාගෙ චිත්‍ර වලට වස්තු විශය වෙන චරිත. ඒ අයගෙ හැසිරීම කතා භහ.. ගති සිරිත් හොඳින් අධ්‍යනය කරන රොක්වෙල් පිංතූර කීපයක් ගන්නව ඒ පුද්ගලයන්ගෙ. ඉන්පස්සෙ ඒ පිංතූර ආශ්‍රයෙන් තමයි සිතුවම් නිර්මාණය කරන්නෙ

රොක්වෙල්ගෙ පොත හරි ලස්සනයි .. ගෙදර තියා ගන්න හිතෙන විදිහෙ පොතක්.

එයාගෙ සිතුවම් මේ වෙද්දි ඩොලර් මිලියන ගනන් වලට අලෙවි වෙන නිසා ඒ සිතුවමක් මිළට ගන්න එක ලේසි පහසු කාර්‍යයක් නෙවේ.  නමුත් එයාගෙ පොත බලද්දි ඒ සිතුවම් ඔක්කොම ගෙදර තියනව වගේ දැනෙනව.

“කාලය” … කාලය වෙනස් කරන දේවල් බොහෝමයි. ( 2022.09.22)

Leave a comment