ලෝකෙ ලස්සනම නැව “ඇමරිගෝ වෙස්පුචි” ද..?

Amerigo Vespucci

මධ්‍යධරණී මුහුදෙ ඈත පාවෙන මේ රුවල් නැව මට පෙණුනෙ චිත්‍රපටියක කොටසක් වගේ.
ඒ තරමට ලස්සනයි.


කිසි හැඩයක් නැති යකඩ පෙට්ටි වගේ කන්ටේනර් නැව් හා පාවෙන ප්ලාස්ටික් හෝටල් වගේ කෲස් නැව් මැද්දෙ මේ අපූරු රුවල් නැව ලස්සන හංසයෙක් වගේ පාවෙන්නෙ.
එකපාරටම හිතුනෙ මේ චිත්‍රපටියක රූගත කිරීමේ දර්ශණයක් කියල.

ඒ නිසාමයි මේ ගැන තොරතුරු හොයල බලන්න හිතුනෙ.

මේ පාවෙන මාලිගාව අයිති ඉතාලියට.
1925 දි ඉතාලි රජු ( වික්ටර් එමානුවෙල් III ) ඉල්ලීමක් කරල තියනව ඉතාලි නාවිකයන් පුහුණු කරන්නත් …රුවල් නැව් තවදුරටත් භාවිතයේ තියා ගැනීමේ උවමනාවටත්.. සරිලන විදිහට විශාල රුවල් නැව් දෙකක් ඉදිකරන්න කියල.
මීට ප්‍රථිචාර දක්වපු ඉතාලි නාවික හමුදාවේ ඉංජිනේරු අංශය නැව් දෙකක් ඉදි කරනව ජෙනෝවා නැව් අංගනයේදී. ජෙනෝවා කියන්නෙ බොහොම ප්‍රසිද්ධ වරාය නගරයක් වගේම නැව් ඉදිකිරීමට නම් දරාපු නගරයක් අදටත්.
රිපබ්ලික් ඔෆ් ජෙනෝවා කියන්නෙ 1797 වෙනකල් යුරෝපයේ නාවික බලය පතුරුවපු ප්‍රසිද්ධ රාජධානියක්.
පලවෙනි නැව ක්‍රිටොෆෝරෝ කොලොම්බෝ ( Chritoforo Colombo) 1928 දීත් ඇමරිගෝ වෙස්පුචි (Amerigo Vespucci) 1930 දීත් ඉතාලි නාවික හමුදාවේ සේවයට එක්වෙනව. ( නැව් දෙක නම් කරන්නෙ ඉතාලිය බිහි කරපු විශිෂ්ඨ නාවික දේශ ගවේශකයන් දෙදෙනෙකුගේ නම් වලින් – මේ දෙන්න තමයි යුරෝපයෙන් ගිහින් ඇමරිකාවට ගොඩ බැස්ස විශිෂ්ඨතම ඉතාලි නාවිකයින් විදිහට සැලකෙන්නෙ)

මේ නැව් දෙක සම්පූර්ණයෙන්ම එක සමානයි. ඒ වගේ නැව් වලට කියන්නෙ Sister Ship ….කියල.
නමුත් මේ සහෝදරියො දෙන්න 1936 න් පස්සෙ කවදාවත් මුණ ගැහිල නෑ.

අපි දන්නව දෙවන ලෝක යුද්ධයේදී මුසෝලිනීගේ ඉතාලිය ගත්තෙ නාසි ජර්මනියේ පැත්ත කියල.
වැඩි මහල් සහෝදරිය ක්‍රිටොෆෝරෝ කොලොම්බෝ යුද්ධයට එක්වෙනව. රුවල් නැවක් වුනත් එ‍යින් යුද්ධයට සපයපු සේවය අසාමාන්‍යයි.

යුද්ධයේ මුල් කාලයේදී නිහඬව හිටපු සෝවියට් දේශය අන්තීමේදී මිත්‍ර හමුදා එක්ක එකතු වෙන්නෙ කොන්දේසි ගොඩකුත් එක්ක.

කොහොම නමුත් මිත්‍ර හමුදාවට සහය දීපු සෝවියට් දේශයත් අනිත් මිත්‍ර රටවලුත් කලින් ඇතිකරගත්ත කොන්දේසි අනුව සතුරන්ගේ ඉතිරිවුනු සම්පත් බෙදාගන්නව.

සෝවියට් වරු කේවල් කරපු දේවලින් ප්‍රධනතම දෙයක් තමයි මේ ක්‍රිටොෆෝරෝ කොලොම්බෝ නැව.
ඒකෙන්ම හිතා ගන්න පුළුවන් මේ අපූරු රුවල් නැවේ වටිනාකම.

දෙවන ලෝක යුද්ධෙ ඉවරවුණු සැනින් වැඩිමහල් සහෝදරියට ඉතාලිය ඇතෑරල සෝවියට් දේශය බලා යන්න සිද්ධ වෙන්නෙ අර කලින් කියපු ගිවිසුම නිසයි.

යුද්දෙට නොගිය බාල සහෝදරිය ලෝකෙ වටාම ඉන්න නාවිකයො පුරුදු පුහුණු කරන අතිශයම වැදගත් පාසැලක් බවට පත්වෙනව.

මේ නැව ලෝකෙ වටේ සංචාරය කරන්නෙ රුවල් මගින්ම තමා.
සමහර විට ලංකාවෙ නාවික හමුදාවෙ නිළධාරීන් වුනත් ඉන්න පුළුවන් මේ නැවේ පුහුණුව ලබපු. අවාසනාවකට ක්‍රිස්ටොෆෝරෝ කොලම්බෝ නැවට දිග ගමනක් යන්න සිද්ධ වෙන්නෙ නෑ.
සෝවියට් වරු මේ නැවේ නම වෙනස් කරනව ඩැනියුබියෝ විදිහට.

පීටර්ස්බර්ග් වරායේ කාලයක් ප්‍රදර්ශණය කරපු මේ නැවට සිද්ධ වෙනව නාවිකයන්ගේ නවාතැනක් හා අවන් හලක් බවට පත්වෙන්න. හේතුව සෝවියට් කැඩෙට් නාවිකයන්ට රුවල් නැව් හා ඒ සම්භන්ධ පුහුණුවීම් ලබාදෙන්නෙ නෑ අනෙකුත් යුරෝපීය නාවික හමුදාවන් වගේ.

පසුව දැව කඳන් ප්‍රවාහණයට යොදාගන්න ක්‍රිටොෆෝරෝ නැවේ කුඹ ගස් කපල අයින් කරනව.
රුසියානුවන් යුද්ධයට දක්ශ වුනත් ඉතාලි ජාතිකයන් වගේ දක්ශ නාවිකයන් නෙවෙයි. ඒ නිසා ක්‍රිස්ටෝෆෝරෝ වගේ කලාත්මක කෘතියක් පාලනය කිරීමේ සියුම් හැකියාව ඔවුන්ට නැහැ. ඒකෙ ප්‍රථිඵලය තමයි වෙස්පුචිට තමන්ගෙ සහෝදරිය අහිමි වීම. ඒ 1963 අවුරුද්දෙ නැවේ ඇති වුනු ගින්නත් එක්කම මේ අපූරු නැව අළුත් වැඩියාවකින් තොරවම අත් හැරල දැමීමෙන්.
තවත් අවුරුදු ගානක් පිලිස්සිලා අඳුරු වෙලා වරායේ කොනක රැඳිල හිටපු ඩැනියුබියෝ හෙවත් ක්‍රිස්ටොෆෝරෝ 1973 වසරෙදි දැව වලට විකුනල දානව.

නමුත් වෙස්පුචිගෙ කතාව මීට වඩා බොහොම වෙනස්. වෙස්පුචි නාවිකයන් පුහුණු කරන මධ්‍යස්ථානයක් බවටත් ගවේශණ නෞකාවක් බවටත් පත්වෙන්නෙ පැරනි මහේශාඛ්‍ය ලීවාව පවත්වා ගනිමිනුයි.


ඇමරිගෝ වෙස්පුචි ගැන කතා කරද්දි තවත් අපූරු කතාවක් මතක් වෙනව මගේ මිත්‍රයෙක් කියාපු.
අවාසනාවකට දින වකවානු හරියටම හොයා ගන්න බැරිවුනා.

මේ සිද්ධිය වෙලා තියෙන්නෙ අත්ලාන්තික් සාගරය මැදදි.

අපි කවුරුත් දන්නව USS Independance ( ඉන්ඩිපෙන්ඩන්ස් ) කියන්නෙ ඇමරිකා එක්සත් ජනපදයට අයිතිව තිබුනු ගුවන් යානා ප්‍රවාහන නෞකා අතරින් විශාලතම නැවක් බව.

ලස්සනට ඉර පායල තිබ්බ දවසක එන්ටප්‍රයිස් නැවේ මෙහෙයුම් මැදිරියට එනව මේ නැවේ අණදෙන නිළධාරී අද්මිරල් වරයා. හේතුව ඈත මුහුදෙ පේන්න තියනව ලස්සන රුවල් නැවක්.
ඇමරිකානුවන්ට තාක්ශණය තිබුනට මේ වගේ විශාල රුවල් නැව් ගැන ඒ තරම් දැනුමක් නෑ. නිල් සාගරය මැද්දෙ පාවෙන මේ අමුතු බෝට්ටුව දැකපු ඇමරිකානු නාවිකයො එයාලගෙ කපිතාන්ට ඒ බව දැනුම් දීම නිසයි එයා බ්‍රිජ් එකට හෙවත් නෞකාවෙ පාලන මැදිරියට එන්නෙ.

තාක්ශණික හා සංනිවේදන උපකරණ මාර්ගයෙන් මේ රුවල් නැව මොකක්ද කියල දැනගත්තත් අද්මිරල්වරයා රේඩියෝව හරහා රුවල් නැව අමතල කියනව..

“සුභ උදෑසනක්
මේ ඇමරිකානු ඉන්ඩිපෙන්ඩන්ස් යුධ නෞකාව ..කරුණාකර ඔබ කවුරුද කියන්න”

“සුභ උදෑසනක් අද්මිරල් තුමනි.. මේ ඉතාලියානු පුහුණු නෞකාවක්.. මගෙ නම අමරිගෝ වෙස්පුචි “

අදමිරල් පිළිතුරු දෙනව..
“නෑ නෑ .. ඒක වෙන්න බෑ. ඒක වැරදියි”

ඇමරිගෝ වෙස්පුචි නැවෙන් පිලිතුරු ලැබෙනව..” නෑ අද්මිරල් තුමනි මේ ඇමරිගෝ වෙස්පුචි තමයි.”

එන්ටප්‍රයිස් නවුකාවෙ ඇද්මිරාල් කියනව.. “ නෑ ඔබ ඇමරිගෝ වෙස්පුචි නෙමේ .. ඔබේ නම විය යුත්තේ ලෝකෙ ලස්සනම නැව “ කියලයි.
“ඔබ ඇදෙන ලස්සන දැකල මට මගෙ ඇස් අහකට ගන්න බැරුවයි ඉන්නෙ” කියල.

මේ කතාව අහපු ඉතාලි නාවිකයන් සමහරකගෙ ඇස් කඳුලින් පිරුණ කියල තමයි පසුව දැනගන්න ලැබුනේ.

ඒ විතරක් නෙමේ.. මේ රුවල් නැව ඇදෙන වේගය අනුව එන්ටප්‍රයිස් නෞකාවෙ මාර්ගය කපාගෙන යන විදිහටයි තියෙන්නෙ.
මේ සඳහා යුධ නැව්වල තියනව නීතියක්. කණිශ්ඨ නැවේ ප්‍රධානියා ( වෙස්පුචි නැවේ ප්‍රධානියා) ජ්‍යේශ්ඨ නැවෙන් අවසර ගත යුතුයි.
ජ්‍යේශ්ඨ -කණිශ්ඨ බව තීරණය වෙන්නෙ (බොහෝමයක් රටවල) නැවේ ප්‍රධානියාගේ ජ්‍යේශ්ඨතවය මත මිසක් නැව ඉදිකරපු වර්ශය අනුව නෙවේ..

මේ අවසර ඉල්ලපු පණිවිඩයට ලැබෙන පිළිතුර… “ඔබ වැනි නැවක් මගේ මාර්ගය කපාගෙන යාමට අවසර ඉල්ලිය යුතු නැහැ.
ඔබ මගේ මාර්ගය හරහා යනතෙක් මගේ නැවේ ගමණ අඩාල කිරීම පවා මට ලැබුනු භාග්‍යයක්..
ඔබ තමයි මේ ලෝකෙ ලස්සනම නැව. ඔබත් සමග කතා කිරීමට ලැබීමත් මට ගෞරවයක් “
යනුවෙනුයි.
ඒ තමයි වටිනාකම් හඳුනන ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ වචන.

රුවල් විසි හයකින් යුක්ත මේ නැවේ දිග මීටර් 100.5 ක්… ඒ වගේම උස මීටර් 54 ක්.
නැවේ කාර්‍ය මණ්ඩලය 264 ක්. ඒ වගේම ලෝකෙ වටෙන් ආපු කැඩෙට් නිළධාරීන් 130 දෙනෙක් මේ නැවේ පුහුණුව ලබනව.

වෙස්පුචිගෙ සහෝදරිය දැව කඳන් විදිහට… යකඩ කොටස් විදිහට අතින් අතට ගිහින් අතුරුදන් වෙලා ගියා. සමහර නාවිකයන්ට තවමත් මතකයි අබලන් වූ ක්‍ර්ස්ටෝෆෝරෝ කොලොම්බෝ වරායෙ හීතල කොනක ගරාවැටුනු හැටි. සමහර සහෝදරියන්ට තියෙන්නෙ වෙනස්ම කතංදර. ඒ අයගෙ ඉරණම වෙනස්. ඒ ගැන හිතන්න වෙස්පුචිට වෙලාවක් නෑ… එයා තවමත් කාර්‍යභහුලයි තරුණ නාවිකයො පුහුණු කරන්න.

ජෝන් එෆ් කෙනඩි.. රොනල්ඩ් රේගන් .. දෙවන එලිසබෙත් රැජිණ..හිරෝහිතෝ අධිරාජ්‍යා වගේ බොහෝ දෙනෙක් වෙස්පුචි නරඹන්නෙ එහි තියන ලස්සනට වගේම පැරණි නාවික උපක්‍රම තවමත් ඒ විදිහටම භාවිතා කරන නිසයි.

බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු හා ඩයනා කුමරිය මේ නැවට ආපු අමුත්තන් අතර තවත් දෙන්නෙක් විතරයි.

ඇත්තටම මේ අපූරු නැව නිල් මුහුදෙ ඇදෙන්නෙ රාජකීය හංසයෙක් වගේ .. ඒක බලන්න ලස්සනයි.

2 responses to “ලෝකෙ ලස්සනම නැව “ඇමරිගෝ වෙස්පුචි” ද..?”

  1. ස්තූතියි වටිනා ලිපියක්.

    Like

  2. ස්තූතියි ඔබතුමා කරන මහඟු සේවයට

    Like

Leave a comment