ඉතිහාසය දන්නෙ නැතුව කතාවක් කියනව කියන්නෙ මුල් පිටු අඩු පොතක් වගේ.

ඉතිහාසය ඉතිහාසය.. මකන්න බැරි ඉතිහාසය.
පවුල .. ආදරය හා විවාහය වටා ගෙතුනු කතා කියවන්න වැඩි දෙනෙක් කැමති වුනත් බොහෝ දෙනෙක් දැනුම පිපාසයෙන් පෙලෙන බව පැහැදිලි නිසයි ඇෆ්ඝනිස්ථානය ගැන ලිපි කිහිපයකින් පොඩි හැඳින්වීමක් කරන්න උත්සාහ කරන්නෙ.
ඒ එක්කම මේ මාතෘකාව ගැන ලියපු සිංහල පර්‍යේශන ලිපියක් තවම ඇහැ ගැටුනෙ නැති වීමත් මේක ලියන්න හේතුවුනා.
ඇෆ්ඝනිස්ථානය කියන්නෙ කතා කරල ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවේ…
මේ රට පිහිටල තියන කලාපය ලෝක ඉතිහාසයේ පැරණිතම ශිෂ්ඨාචාර බිහිවුණු කලාපයක්.
මේ නිසා ලෝක ඉතිහාසය හා ශිෂ්ඨාචාර ගැන පොඩි අදහසක් නැතුව ඇෆ්ඝන් ඉතිහාසය ගැන කතා කරන්න අමාරුයි.
ඒ වගේම ඉතිහාසය ගැන සාමාන්‍ය අදහසක් නැතුව අෆ්ඝනිස්තානය ගැන හෝ තලේබාන්වරු ගැන සාකච්ඡා කරන එකේ තේරුමක් නෑ.
හෝමෝ සේෆියන්ලගෙ ඉතිහාසය වසර 300,000 ක් දක්වා දිවගියත් වානරයන්ගෙන් වෙනස් වූ මොළයේ වර්ධනයක් දකින්න පුළුවන් වසර 100,000 ක් තරම් මෑත කාලයේදීයි.
වසර බිලියන හතරකටවත් වඩා වයස පෘතිවියේ මිනිසුන්ට ලැබෙන කාලය ඉතිහාසය තුල සඳහන් නොවෙන තරමටම කෙටියි ඒ වගේම වටිනාකමින් ඉතාමත්ම අඩුයි.
මේ තරම් වයස පෘතිවියේ මිනිස් ශිෂ්ඨාචාර බිහිවෙන්න පටන් ගන්නෙ වසර 10,000 කටත් අඩු ඉතාමත්ම මෑත ඉතිහාසයේදියි.
ලංකාවෙ අපිට හුරු හා නිතරම කතා කරන ශිෂ්ඨාචාරය තමා ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය.
කොහෙද මේ ඉංදු ගඟ තියෙන්නෙ. ඉංදු නැත්තං ඉංදුස් ගඟ පිහිටල තියෙන්නෙ ඉන්දියාව හා පාකිස්ථානය අතර.
පාකිස්ථානය කියන්නෙ අලුතින් බිහිවුනු රටක්.
ඒ කියන්නෙ මේ ඉංදු ගඟ අසබඩ ශිෂ්ඨාචාරය ඇතිවෙන්නෙ ඉන්දු ඇෆ්ඝන් කලාපයේ.
ඇයි ඇෆ්ඝන් කලාපය කියල සඳහන් කලේ.?
ඒකට හේතුව තමයි ඇෆ්ඝන් කලාපය එහෙමත් නැත්නම් රට ඉතාම දිග ඉතිහාසයක් ඇති රටක් වීම.
ශිෂ්ඨාචාරයක් බිහිවෙන්න ජලය අනිවාර්‍ය සාධකයක්…
නමුත් ජලය හා සරුසාර නිම්නයක් විතරක් තිබීම සෑහෙන්නෙ නැහැ.
ඒ ප්‍රදේශය අදහස් අතින්.. තාක්ශනය හා ක්‍රමවේද එක්ක දියුණු වෙන්න නම් වෙනත් සංස්කෘතීන් හෝ වෙනත් ජන කොට්ඨාශ සමග ගණුදෙනු සිදුවිය හැකි කලාපයක් වීම වාසි සහගතයි.
ඉංදු නිම්නයේ මේ හැමදේම තිබුන. හින්දුකුශ් වගේ කඳු මුදුන් වලින් ගලන පිරිසිඳු වතුර.. සාරවත් පස වගේම පර්සියා හා අරාබි කලාපයෙන් එන බලපෑමත් , චීන ශිෂ්ඨාචාර තුලින් එන දැනුමත් මේ පලාත සරුසාර කරා.
ඒ ප්‍රදේශය හබ් එකක් වගේ.
ඒ කියන්නෙ නැගෙනහිරින් හා බටහිරින් එන දැනුම ගැටෙන තැනක්.. සංස්කෘතීන් මිශ්‍ර වෙන තැනක්.
තවත් සමහරු කියන්නෙ බටහිරින් නැගෙනහිර වෙන් කරන භාදකය තමයි ඇෆ්ඝන් කඳු කලාපය කියල.
නමුත් බෙදා වෙන් කරනවට වඩා දැනුම හා සංස්කෘතීන් මිශ්‍ර කරන කලාපයක් කියල නම් කරන්නයි මම කැමති.
පොඩි අදහසක් ගමු ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචාර ගැන.
මොනවද ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචාර…
ඒ ගැන විවාද තියනව.. හැම රටක්ම හැම කලාපයක්ම උත්සාහ කරනව තමංගෙ ඉතිහාසා වඩා පැරණියි කියන්න.
ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචාර ගැන කතා කරද්දි… ඇයි ශ්‍රී ලංකාවේ ශිෂ්ඨාචාරයට වෙනම තැනක් හෝ වෙනම සඳහන් කිරීමක් නොවෙන්නෙ කියල කාට හෝ හිතෙන්න පුළුවන්.
ඒකට හේතුව තමයි ලංකාවේ ශිෂ්ඨාචාරය ඉන්දු නිම්න ශිශ්ඨාචාරයෙන් පෝශණය වුනු ඉංදියානු ආභාශය මත බිහිවුනු සංස්කෘතියක් වීම.
අපිට ඊට විරුද්ධව අදහස් දෙන්න පුළුවන්.
ඒකෙන් කොහෙත්ම අදහස් වෙන්නෙ නෑ ලංකාව තියෙන භූමියේ ඒ දවස්වල හිටපු මිනිස්සු අදක්ශයි හෝ වැදගත් කමින් අඩුයි කියල.
ඒ කාලයේ හිටපු ලාංකිකයන් ඉංදියානු දැනුම උකහාගෙන තමන්ට ආවේණික ක්‍රම හා ශෛලියන් නිර්මානය කර ගත්ත.
නමුත් මේ තාක්ශණය.. ක්‍රම වේද.. සංස්කෘතික රටාවන්හි මූලිකාංග ලැබෙන්නෙ ඉංදියානු ශිෂ්ඨාචාරයෙන්.
ග්‍රීක ශිෂ්ඨාචාරයෙන් තුර්කිය ඉතාම දියුණු කලාපයක් බවට පත්වුනා ඉතිහාසයේදී.
නමුත් තුර්කි ශිෂ්ඨාචාරය කියල අපි වෙනම අධ්‍යයනය කරන්නෙ නෑ. ඒකට හේතුව තමයි මව් සංස්කෘතිය විදිහට සලකන්නෙ ග්‍රීක සංස්කෘතිය එහෙමත් නැත්තං ග්‍රීක ශිෂ්ඨාචාරය.
කාල වකවානු ගැන බලද්දි නියෝතික් සංස්කෘතික සංචරනය ක්‍රිස්තුපූර්ව 10,200 දක්වා දිවෙනව. මේ
අයම තමා දැනට අවුරුදු 7000 කට විතර කලින් නයිල් නිම්නයේ ශිෂ්ඨාචාරය ( ඊජිප්තු ශිෂ්ඨාචාරය) ගොඩ නැගුවෙ.
නියෝතික් ඇරඹුම ලැබෙන්නෙබ් ඊසාන දිග ඉතියෝපියාව. එහෙම වුනයි ලෝකයේ ශ්‍රේශ්ඨතම රට ඉතියෝපියාව කියල සලකන්න අමාරුයි.
මේ අය ලෝකෙ තැනින් තැන ගියා විවිධ ශිශ්ඨාචාර නිර්මානය කරමින්.
නමුත් තේරුම් ගැනීමේ පහසුවට ශිෂ්ඨාචාර මේ විදිහට දක්වන්න පුළුවන්.
1.මෙස්පොටාමියන් ශිෂ්ඨාචාරය. ( Mesopotamian civilisation)
ක්‍රිස්තු පූරව 3500/ 500
( අද ඉරාකය..ඉරානය.. සිරියාව හා තුර්කියේ කොටසක් ඇති ප්‍රදේශය) . මේ ප්‍රදේශයේ අවුරුදු 8000 කට කලින් ගොවිතැන් කරපු බවට සාධක තියනව.
විශේෂත්වය. ලොව පලමු සංවිධානාත්මක ජනපද නිර්මානය.
- ඉන්දු නිම්න ශිශ්ඨාචාරය.
ක්‍රිස්තු පූර්ව 3300/1900
( අද ඉන්දියාව.. පාකිස්ථානය හා ඇෆ්ඝනිස්තානය ඇති ප්‍රදේශය)
(ඔව් මේ කලාප වල අවුරුදු 7000 කට කලින් මිනිසුන් ජීවත් වූ බවට සාක්ශි තිබුනත් ඒ යුගයේදී දියුණු හා මනාව සංවිධානය වූ ශිෂ්ඨාචාරයක් තිබූ බව පිලිගන්නෙ නැහැ)
විශේෂත්වය. විශාලතම ශිෂ්ඨාචාරය. ( ප්‍රදේශ වශයෙන් ගත් කල)
- ඊජිප්තු ශිෂ්ඨාචාරය. ක්‍රිස්තු පූර්ව 3150/ 30
( අද ඊජිප්තුව හා නයිල් ගඟ දෙපස කලාපය)
විශේෂත්වය. පිරමීඩ නිර්මානය - මායා ශිෂ්ඨාචාරය. ක්‍රිස්තු පූර්ව 2600.
( අද මෙක්සිකෝව..ග්වාතමාලා..බෙලීස්.. එල් සැල්වදෝර් හා හොන්ඩුරාස් යන රටවල් පිහිටි කලාපය)
පිර්මීඩ නිර්මානය හා තාරකා විද්‍යාව ගැන දැනුම. - චීන ශිෂ්ඨාචාරය. ක්‍රිස්තු පූර්ව 1600/ 1046
කහ ගඟ ආශිත චීනය. ( කඩදාසි හා සිල්ක් රෙදි නිශ්පාදනය) - ග්‍රීක ශිෂ්ඨාචාරය. ක්‍රිස්තු පූර්ව 2700/ 479.
අද ග්‍රීසිය.. ඉතාලිය.. සිසිලිය හා ප්‍රංශයේ සමහර ප්‍රදේශ.
විශේෂත්වය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හඳුන්වාදීම. ඔලිම්පික් ක්‍රීඩා ආරම්භය. - පර්සියන් ශිෂ්ඨාචාරය. ක්‍රිස්තු පූර්ව 550 / 331
අද ඉරානය ( උතුරින් තුර්කිය දක්වාත් නැගෙනහිරින් ඉන්දු නිම්න කලාපය දක්වාත් විහිදී ඇති කලාපය)
විශේෂත්වය. රාජකීය මාවත. ( කිලෝමීටර 2700 ක් දිග මහා මාර්ගය). තාරකා හා වෛද්‍ය විද්‍යාව. - රෝම ශිෂ්ඨාචාරය . ක්‍රිස්තු පූර්ව 550 / ක්‍රිව.465අද ඉතාලිය. දකුණු යුරෝපය.. උතුරු අප්‍රිකාව හා මධ්‍ය ධරනී කලාපය.විශේෂත්වය. මෙතෙක් බිහිවූ බලවත්ම ශිෂ්ඨාචාරය. ලතින් බස.. කොලෝසියම වැනි ඉදිකිරීම්.
මේ ශිෂ්ඨාචාර බිහිවීම වගේම ආගම් නිර්මාණයත් වැදගත් තැනක් ගන්නව. ලෝකයේ විවිධ ආගම් දාස් ගනනක් තිබුනත් ආගම් හතරක් හෝ පහක් තමයි ප්‍රධාන වෙන්නෙ.
සාමාන්‍ය අදහසක් ගන්න අපි මේ විදිහට බලමු.
- හින්දු ආගම.
ක්‍රිස්තු පූර්ව 2300ත් 1500 අතර කාලය තුල ඉන්දියාවෙන් ආරම්භ වූ හින්දු ආගම දෙවිවරුන් දාස් ගානක් සිටින ආගමක්. - යුදෙව් ආගම.
ක්‍රිස්තු පූර්ව හයවන හා තුන්වන සියවස කාලයේදී ඊජිප්තුවේ සිට ඊශ්‍රායලයට පැමිනි ජනයා අතර ආරම්භ වුනු මේ ආගම ලොව සිටින්නේ එකම දෙවි කෙනෙකුත් ඔහුගේ පුත්‍රයා හෝ නියෝජිතයා අනාගතයේදී මේ ලෝකයට පැමිනෙන බවත් විශ්වාස කරනව. යුදෙව් ආගම ගමන් කරන්නේ මවගෙන් දරුවන්ට මිස පියාගෙන් දරුවන්ට නෙවේ. - බෞද්ධ ධර්මය./ බෞද්ධ දර්ශණය
කිස්තු පූර්ව පස්වන හා හතරවන සියවස් තුලදී වර්ථමාන නේපාලයට අයත් භූමියේ ඉපදුනු බුද්ධිමතෙකුගේ ඉගැන්වීම් තුලින් තමයි පහුකාලීනව මේ ආගම හෝ දර්ශණය නිර්මානය වෙලා තියෙන්නෙ.
ලෝකයේ බොහෝ තැන්වල විහිදී ඇති බෞද්ධ ඉගැන්වීම් ජීවිතය ගැන දර්ශණයක් ලෙසත් තවත් සමහරෙක් ආගමක් ලෙසත් හඳුන්වනව.
මහායාන.. හීනයාන.. ටිබෙට් බෞද්ධ වගේ විවිධ ඉගැන්වීම් වගේම, කුලය උපයෝගී කරගෙන නිර්මානය කරගත් විවිධ පාර්ශවත් බෞද්ධාගම තුල නිර්මානය වෙලා තියනව. - ක්‍රිස්තියානි ආගම. ක්‍රිව 1
ජේසු එහෙමත් නැත්නම් යේසුස් නම් දාර්ශණිකයා ඉපදෙන්නෙ වර්ථමාන ඊශ්‍රායල් පලස්තීන භූමියේ.
යුදෙව් ප්‍රදේශයක ඉපදුනු නිසා යේසුස් දෙවියන්ගේ පුත්‍රයා ලෙස හඳුන්වනව.
යුදෙව්වන් මේක පිලිගන්නෙ නෑ . යුදෙව්වන් හා පසුව අතිවූ ඉස්ලාම් භක්තිකයින් කියන්නෙ ජේසුස් පනිවිඩ කරුවෙක් පමනක් බවයි.
නමුත් ඔහුගේ දාර්ශනික හා හිංසනයෙන් තොර ඉගැන්වීම් මරණයෙන් පසුත් ප්‍රචලිත වන නිසා රෝම පාලකයින් ඒ ඉගැන්වීම් රෝමානු කතෝලික ලෙස ව්‍යාප්ත කරනව. ක්‍රිස්තියානි ආගම රෝමානු කතෝලික.. ප්‍රොතෙස්තන්ත, ඇන්ග්ලිකන් , ජෙහෝවාගේ පනිවිඩ කරුවෝ වගේ විවිධ උප ඛාන්ඩ යටතට බෙදෙනව. - ඉස්ලාම් ආගම.
ක්‍රිස්තු වර්ශ 610 දී වර්ථමාන සෞදි අරාබියේ උපත ලැබූ මොහොමඩ් නම් දාර්ශණිකයෙකුගේ ඉගැන්වීම් මත තමයි ඉස්ලාම් ආගම නිර්මානය වන්නේ. යුදෙව් හා ක්‍රිස්තියානි භක්තිකයින් අදහන දෙවියන් මුස්ලිම් වරුන්ගෙත් දෙවියන්. නමුත් ඉගැන්වීමේ කරුණු හා සංස්කෘතික ඝට්ඨන මත මේ ආගම් තුන එකිනෙකට රූස්සන්නෙ නැහැ.
ජේසුස් මෙන්ම මොහොමඩ් දෙවියන්ගේ පනිවිඩකරුවකු බවයි ඉස්ලාම් භක්තිකයන් විශ්වාස කරන්නෙ.
ශියා හා සුන්නි යනු ඉස්ලාම් ආගමේ ප්‍රධාන උප කොටස් දෙකයි.

මේ සඳහන් කල ආගම් විවිධ ශිෂ්ඨාචාර හා සංස්කෘතීන් ඇතිවීමටත් බිඳ වැටීමටත් විශාල බලපෑමක් කරනව.
ඊලඟ සටහන ටිකක් ඔළුව රිදෙන එකක්.. අපි දැන් දන්නව බටහිරින් එන පර්සියානු, අරාබි, ග්‍රීක , රෝම රැල්ලත් නැගෙනහිරින් එන ඉන්දියානු චීන හා මොංගෝලියානු රැලිත් එක්නෙක බිඳෙන්නෙ මේ ඇෆ්ඝන් කලාපයේ කියල.
අඩුම තරමෙ එකිනෙකට වෙනස් රාජධානි 25 කටවත් ඇෆ්ඝන් භූමිය අයිති වෙනව. ඒ කියන්නෙ අඩුම තරමෙ මහා විශාල යුද්ධ සීයකටවත් ඇෆ්ඝන් භූමිය ගොදුරු වෙනව.
මුලින්ම ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය නිර්මානය වෙන්න ඇෆ්ඝන් භූමි කලාපය පහසුකම් සැලසුවේ ක්‍රිස්තු පූර්ව 3300 දී පමණ.
ක්‍රිස්තු පූරව 3500 ට පමන අයත් මැටි භාන්ඩ කාබුල් නගරය ප්‍රදේශයෙන් හමුවීමත් එක්ක මේ අදහස් ස්ථිර වෙනව.
ඒ වගේම අමතක කරන්න බැහැ මේ ප්‍රදේශයේ
ඉන්නෙ දුශ්කර කඳුකර ජීවිතයට හුරුවුණු පොඩ්ඩක්වත් කම්මැලි නැති ගොවීන්, එඬේරන් හා වෙළඳුන් කණ්ඩායමක් බව.
මේ ලුහුඬුව සඳහන් කරන්නෙ කාලයෙන් කාලයට ඇෆ්ඝන් භූමිය ගොදුරු වෙච්ච රාජධානියි.
අංක හා කාල වලට අකමැති නම් වචන විතරක් කියෙව්වත් සාමාන්‍ය දැනුමක් ගන්න පුලුවන් යුද්ධ හා ආක්‍රමණ පිලිබඳව.
මේඩියන් රාජධානිය ක්‍රිපූ 678 549 ( Madian Kingdom)
( විජය රජුගේ ලංකාගමනය ක්‍රිපූ 543 – ඒ සංසන්ධනය කිරීමේ පහසුවට)
පැරනි ග්‍රීක හා ඉරාන ජාතිකයන්ගෙන් සැදුම් ලත් විශාල රාජ්‍යයක් තමයි මේඩියන් එහෙමත් නැත්තං මේඩ්ස් විදිහට හඳුන්වන්නෙ.
ඔව් හිතුව හරි ග්‍රීසියේ ඉඳල බටහිර ඉන්දියාවට එනකල් මේ රාජ්‍යය විශාලයි.
පර්සියානු ආර්චමේනිඩ් රාජධානිය ක්‍රිපූ 550 -330 ( Achaemenid Empire)
බෞද්ධ පොත පතේ සඳහන් වෙනව පුන්න මහරහතන් වහන්සේ ධර්ම ප්‍රචාරයට සුනපරන්ත දේශයට ගියා කියල.
මගේ මිත්‍රයෙක් එක්ක කරපු කෙටි සාකඡ්ඡාවක් නිසා මට ඒත්තු ගියේ මේ කියන විස්තර වලට අනුව සුනපරන්ත හෝ සුනපරන්න කියන්නෙ ටජිකිස්තානයට වඩා ඇෆ්ඝන් භූමියට කියල. නමුත් ඉන්දියානු ප්‍රදේශයක් වූ ගෝව කියනව සුනපරන්ත කියන්නෙ ගෝවට කියල. මේ ගැන හරියටම කියන්න මට දැනුම මදි.

මහා ඇලෙසැන්ඩර්ගේ මැසිඩෝනියානු රාජධානිය ක්‍රිපූ 323. ( Invasion of Great Alexander)
( මහා ඇලෙක්සැන්ඩර්ගේ අග මෙහෙසිය වෙන්නෙ රොක්සානා කුමරිය.. කවුද මේ රොක්සානා. එයා තමයි ඇෆ්ඝන් ප්‍රාන්ථ නායකයෙක් වූ බල්ඛි ඔක්සියාස් ගේ දුව. රොක්සානාගේ පුත්‍රයා තමයි ඇලෙක්සැන්ඩර්ගෙන් පස්සෙ පියාගේ ස්ථානයට හිමිකම් කියන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ මේ පලාතෙ වැදගත්කම වගේම ප්‍රදේශයේ කාන්තාවන්ගෙ ලස්සන)
සෙලුසිඩ් රාජධානිය ක්‍රිපූ 312 – 63 ( Seleucid Empire)
( මෞර්‍ය , මගධ රාජධානියේ ආක්‍රමනයත්… සෙලුසිඩ් හා මෞර්‍ය යුද්ධය සිද්ධ වෙන්නෙත් ක්‍රිපූ 305/303 අතර කාලයේ.)
ග්‍රීකෝ බැක්ට්‍රියන් රාජධානිය. ක්‍රිපූ 256 125. ( Greko Bactrian Empire)
ඉතාම බලවත් වූ මේ රාජ්ධානිය නිර්මාණය කරන්නෙ උතුරු ඇෆ්ඝන් නායකයෙක් විසින්. ( මේ කාලය තුල බෞද්ධ ඉගැන්වීම් මේ කලාපයේ ප්‍රසිද්ධ බවට සාක්ශි තියෙනව)
ඉන්දු ග්‍රීක් රාජධානිය .ක්‍රිස්තු පූර්ව 180 ක්‍රිව 10 ( Indo Greek kingdom)
මේ වකවානුව තුල ග්‍රීකයන්ගෙන් ලැබෙන ආභාශය ඉන්දියානු සංස්කෘතිය සමග මිශ්‍රව ඉතාම සංවාදශීලී දැනුමක් වගේම නිර්මාණ ගොඩනැගෙනව.
ඒ එක්කම උතුරු ඉන්දියාවෙන් එන ගෝත්‍ර වූ යුඑශි හා සකාස් ආක්‍රමණ සිද්ධ වෙන්නෙත් මේ කාලෙ.
පාර්තියන් රාජධානිය . ක්‍රිපූ 247 – ක්‍රිව 224 ( Parthian Kingdom)
පර්සියානු එහෙමත් නැත්නම් ඉරාන රාජධානියේ තවත් පැත්තක් තමයි පාර්තියානු රාජධානිය. විශේෂයෙන්ම තරු රටා හා තාරකා ගැන අධ්‍යයනය කරන්න මේ අය ඇෆ්ඝන් උස්බිම් භහුලව පාවිච්චි කරල තියෙන බවට සාක්ශි තියනව.
සුරේන් රාජධානිය ක්‍රිපූ 19- ක්‍රිව 240 ( Suren sub kingdom)
( මේ රාජධානියේ විශේෂත්වය තමයි ඉන්දු හා පාර්තියන් කියන කොටස් දෙක එකතු වෙලා ස්වාධීනව රාජ්‍යයක් බිහි කර ගැනීම)
කුශාන් රාජ්ධානිය . ක්‍රිපූ 30- ක්‍රිව 375 ( Kushan Kingdom)
මේ රාජ්ධානිය බෞද්ධ දර්ශණය ප්‍රිය කරන අයට වැදගත්. ඒකට හේතුව තමයි මේ රාජ්ධානියට අයත්ව තිබූ ඇෆ්ඝන් පාකිස්ථාන භූමියෙන් තමයි ලොව පැරණිතම බුදු පිලිමය හමුවෙන්නෙ.

ගාන්ධාර බුදුන් ( sitting Buddha of Gandhar )විදිහට හඳුන්වන මේ පිලිමයේ තියෙන්නෙ ග්‍රීක ලක්ශණ.
ඉන්දීය ..ලාලිත්‍ය හෝ කාන්තා ලක්ශන ඇති බුදු පිලිම වලට වඩා මේ පිලිම වල තියෙන්නෙ පිරිමි පෞරුශයක්.
බොහෝ දෙනෙක් විශ්වාස කරනව ඉන්දියානු ගල් පිලිම නෙලීමට හේතුවන බොහෝ ලක්ශන ග්‍රීකයන්ගෙන් ලැබුනු බවට. කොහොම වුනත් ක්‍රිපූ. 30 වැනි කාලයකදී මේ ප්‍රදේශයේ බුදු පිලිම වගේම, තවත් අපූරු චිත්‍ර නිර්මානය වෙලා තියනව.
එක චිත්‍රයක් බොහොම ප්‍රසිද්ධයි. ඒකෙ තියෙන්නෙ කුශාන් හින්දු පුද්ගලයෙක් ග්‍රීක දෙවියකුට ආචාර කිරීමක්. මෙයින් අදහස් වෙන්නෙ නෑ එක ආගමක් අනිත් ආගමට වඩා විශිෂ්ඨයි කියල.
නමුත් එකම රාජ්ධානියක් තුල විවිධ ආගම් හා ඇදහීම් තිබුනු බවට මේ සාක්ශි හොඳ උදාහරණ.
සසනිඩ් පර්සියන් රාජධානිය. ක්‍රිව 224 651 ( Sasanian Empire)
මේ තමයි මේ කාලය තුල බිහිවූ විශාලම රාජධානිය . මේ රාජ්‍ය බිහිවෙන්නෙ පර්සියාවෙන් පැමිනෙන ආක්‍රමනයත් එක්ක. නියෝ පර්සියන් රාජධානිය විදිහටත් හඳුන්වන මේ රාජ්‍ය බයිසෙන්ටීන් රාජධානියේ අසල්වැසිය විදිහට හිස කෙලින් තියාගෙන හිටපු රාජ්‍යයක්.
(මේ කාලයට සමගාමීව ජීවත් වූ හෙප්තලිට්ස් Hephthalites වරු තමයි බාමියන් බුදු පිලිම ගොඩ නගන්නෙ ක්‍රිව 550-620 වගේ කාල වකවානුව තුල..)

අභාසිඩ් කාලිෆෙට් රාජධානිය. ක්‍රිව 750 -1258 ( Abbasid Caliphate dynasty)
මේක ඉතාම බලවත් වගේම වැදගත් රාජ්‍යක්. හේතුව තමයි ඉස්ලාම් ආගම මුල්කරගෙන බිහිවෙන පලමු හා බලවත් රාජ්‍ය වෙන්නෙ කාලිෆෙට් රාජ්‍යයයි. උතුරු අප්‍රිකාවේ සිට අරාබි හා ඉරාන ප්‍රදේශ හරහා ඇෆ්ඝනිස්තානයට එනකල් මේ රාජධානිය පුළුල්.
මෙන්න මේ තමයි ඇෆ්ඝනිස්ථානයට ඉස්ලාම් ආගම ලැබුනු මුල්ම අවස්තාව. ඒ වගේම ඉන්දු , පර්සියානු, ග්‍රීක හා චීන සංස්කෘතීන් වල සංකලනයක් වෙලා තිබුනු ඇෆ්ඝන් ප්‍රදේශය.. අරාබි සංස්කෘතිය වැලඳ ගන්නෙ මෙන්න මේ කාල වකවානුවේදි.
මේ සඳහන් කරපු රාජධානීන් සමහරක් උතුරු අප්‍රිකාවේ හෝ නැගෙනහිර යුරෝපයේ ඉඳල ඉංදියාව දක්වා දිවෙන තරමට විශාලයි.
සමහර රාජධානි බටහිරින් ග්‍රීසියේ ඉඳල නැගෙනහිරින් චීන ප්‍රදේශ දක්වා විශාලයි.
ඇෆ්ඝන් ප්‍රදේශය කියන්නෙ සැරින් සැරේ බිහිවෙන මේ හැම රාජධානියකටම අහුවෙන තැලෙන පොඩිවෙන වද විඳින ජන කොට්ඨාශයක් විතරයි.
මේක තේරුම් ගන්න ලේසි නෑ ලංකාව වගේ දූපතක චිත්‍රය ඔළුවෙ තියාගෙන. මොකද මේ මහද්වීප වල කොටුවෙලා තියන රටවල් ඉතිහාසය පුරාම හුලඟට ඇදෙනව වගේ එහාට මෙහාට වැනෙනව ඇදෙනව.
මේ කාලය අතර තුර තවත් ආක්‍රමන බලපෑම් එල්ල වෙනව.
සෆාරිඩ් රාජධානිය ක්‍රිව 861-1003 ( Safarid Kingdom)
සමානිඩ් රාජධානිය ක්‍රිව 819-993 ( Samanid empire)
( මේ කාලයේ සිදුවුනු තවත් වැදගත් දෙයක් තමයි සමානිඩ් හමුදාව මහා විශාල තුර්කි කුලී හමුදාවක් රැගෙන ඒම. මේ තුර්කි ජාතිකයන් බොහෝ දෙනෙක් ඇෆ්ඝන් භූමි ප්‍රදේශ වල පදිංචි වුනා)
ඝසාවිඩ් රාජධානිය ක්‍රිව 977 – 1186 ( Ghasavid sub kingdom)
( මේ කාලය තුල තමයි ඉස්ලාම් ආගමත් අරාබි සංස්කෘතියත් ඇෆ්ඝන් භූමි කලාපයේ ස්ථාපිත වෙන්නෙ)
කවාරස්මියන් රාජධානිය. ක්‍රිව 1077 – 1231 ( Khawaraymian kingdom)
( ඉරාන සුන්නි මුස්ලිම් නීති ස්ථාපනය වෙන්නෙ මේ කාලය තුලදියි)
මොංගෝලියානු අධිරාජ්‍ය. ක්‍රිව 1206- 1294 ( Mongolian Empire)
මේ තමයි කෙටි කාලයක් තුල බිහිවූ විශාලතම අධිරාජ්‍ය. මොංගෝලියාවේ සිට චීනයත්..රුසියාවේ විශාල ප්‍රදේශයකුත් නැගෙනහිර යුරෝපයේ කොටසකුත් යටත් කරගත් මේ රාජ්‍ය බිහිවුනු වේගයෙන්ම කඩා වැටුනා. ඒකට හේතුව තමයි රාජ්‍යයේ අධික විශාලත්වය.
ඒත් මුස්ලිම් ..හින්දු,, ක්‍රිස්තියානි ආගම් වගේම ඉන්දීය.. රුසියානු , පර්සියානු හා යුරෝපීය සංස්කෘතීන් යට කරගෙන ටික කාලයක් තුලදි
මොංගෝලියානුවන් ඒ අයගෙ සංස්කෘතික ලක්ශණ මේ ප්‍රදේශ වල ව්‍යාප්ත කරා. අදත් ග්‍රීසියේ සිට කසකස්තාන භූමි දක්වා මොංගෝලියානු කෑම බීම.. ඇඳුම් .. නර්තන වගේ දේ හරි ප්‍රසිද්ධයි.

තිමුරිඩ් රාජධානිය. 1370-1507 ( Timurid kingdom)
මොංගෝලියානුවන් , පර්සියන් වරු හා කසක්ස්ථාන , ටජිකිස්තාන වරුන් එක්ව නිර්මානය කරපු රාජ්‍යයක්.
ඝාස්නාවිඩ් රාජ්‍ය. 1501-1736. ( Ghasnavid Empire)
( ඉරාන පර්සියා කලාපය මුල් කරගත් රාජ්‍යයක්)
මේ අතරෙ ඉංදියාව මුල් කරගෙන මෝගල් රාජධානිය නිර්මාණය වෙනව.
ඒ ක්‍රිව 1526 -1761 කාලය තුල. මේ රාජ්‍යයේ බලපෑම් වලටත් ඇෆ්ඝන් බිම් මුහුන දෙනව.
මේ කාලය වෙද්දි තුර්කිය මුල් කරගෙන බිහිවුණු ඕටමන් රාජධානිය හරි බලවත්.. ඒ වගේම මෝගල් රාජ්‍යයත් ශක්ති සම්පන්නයි.
මේ දෙගොල්ල නිතරම ගැටෙනව ඇෆ්ඝන් බිම් වලදි.. මේ ගැටුම් අවසන් වෙන්නෙ මෝගල් වරුන්ට ප්‍රදේශයේ වැඩි බලතල දෙමින්.
දුරානි රාජ්‍ය ( Durrrani Kingdom)
මෙන්න මේ අතරෙදි තමයි දුරානි රාජ්‍ය බිහිවෙන්නෙ. 1747 – 1826 අතර කාලයේ බලය පතුරවන මේ රාජ්‍ය ඇෆ්ඝන් වරුන්ට ඉතාම වැදගත්.
ඒකට හේතුව තමයි අද පකිස්තානය හා ඇෆ්ඝනිස්තානය තියන බිම් එකතුකරල දුරානි රාජ්‍ය නිර්මානය කරන්නෙ ඇෆ්ඝන් ජාතිකයෙක් වීම.
ඒ තමයි අහමඩ් ශානි දුරානි ( Ahamed Shani Duraani)
අදත් ඇෆ්ඝන් ජාතිකයො ජාතියේ පියා විදිහට සලකන්නෙ දුරානි මහත්තයා. එයා තමයි ඇෆ්ඝනිස්තානය නිර්මානය කරන්නෙ.
එයා දක්ශ පාලකයෙක්.

නැගෙනහිරින් ඉංදියාවත්.. චීනයත් එක්ක තානාපති සබඳතා ඇති කරගන්නත් ඉරානය සමග සාකච්ඡා කරල ගැටුම් නවත්ත ගන්නත් දුරානි මහත්තයාට පුළුවන් වෙනව. සාකච්ඡාවට වගේම යුද්ධයටත් මේ මනුස්සයා දක්ශයි.. සාකච්ඡා අතරෙදිම යුද්ධයට ආවොත් සිදුවිය හැකි ප්‍රථිවිපාක ගැන එයා අනතුරු අඟවනව.
අවුරුදු දාස් ගානක් තිස්සෙ අර රටටත්.. මේ රාජ්‍යයටත් යටත් වෙලා එහාට මෙහාට ඇදුනු ඇෆ්ඝන් වරුන්ට අන්තිමේදි රටක් ලැබෙනව.
ග්‍රීක.. රෝම.. තුර්කි.. මොංගෝලියානු.. ඉන්දියානු ජාතිකයො එක්ක අවුරුදු සිය දාස් ගාණක් මිශ්‍ර වුනු මේ ඇෆ්ඝන් මිනිස්සු හරි විශේෂයි…
තද නිල් හෝ කොල පාට ඇස්.. රතු දුඹුරු හෝ කළු හිසකෙස් එක්ක මේ මිනිස්සු හැමෝගෙම අවධානය දිනාගන්නව.
සමහරු කියන්නෙ මේ තමා ලෝකයේ ඉන්න ගැඹුරුම ඇස් ඇති මිනිස්සු කියල. තවත් අය කියන්නෙ ලෝකයේ ලස්සනම ගැහැණු ඉන්න රට කියල.
දැං අපි මේ ඇවිල්ල ඉන්නෙ 1820 ට.
මොකද වෙන්නෙ මේ කාලෙ… මේ කාලය තුල තමා නිදාගෙන හිටපු රුසියානුවන් මේ කලාපයට බැල්ම හෙලන්නෙ.
ඒ අස්සෙ තමන්ගෙ නාවික බලයෙන් සන්නද්ධ වුනු ඉංග්‍රීසීන් ඊස්ට් ඉන්දියා කොම්පැනිය හරහා මේ කලාපයට ලඟා වෙනව.
මේ තමයි පලවෙනි පරිච්චේදය අවසන් කරන්න අවස්ථාව.
මං දන්නව ලිපිය දිගයි.. නීරසයි. නමුත් මේ ඉතිහාසය දැනගන්නෙ නැතිව අපිට ඇෆ්ඝනිස්තානය ගැන කතා කරන්න බෑ.
තේරුමක් නෑ.
තව දවසක කතා කරමු… ඉංග්‍රීසීන් හා රුසියානුවන්ගේ බලපෑමත්.. ඇමරිකාවේ මැදිහත් වීමත් .. ඒ අතරින් මුජාහිදීන්ලගෙ ආරම්භයත්.
220821©️MS
(සමහර වචන හා අකුරුත් වසර දෙක තුනකුත් එහාට මෙහාට වෙලා තියෙන්න පුළුවන්. ඒ ගැන කණගාටුයි. නමුත් මේ සඳහන් කරපු විස්තර.. ලිපි හා පොත් ගනනාවක් පරිහරනය කරල …මේ විශය ගැන හොඳ අවබෝධයක් ඇති සගයන් එක්ක කතා බහ කරලයි ලිව්වෙ.
ඒ එක්කම ඉතිහාසය.. උරුමය.. ආගම් ගැන විවිධ මති මතාන්තර තියෙන්න පුළුවන්. නමුත් මේ සමස්තයක් විදිහට කියන නිවැරදි කතාවකුත් …විනිශ්චයන්ගෙන් පිට ඉඳල ආගම් හා ඉතිහාසය දිහා බලන සරල ලිපියකුත් විතරයි. ඒ නිසා ආගම් හෝ විශ්වාස ගැන විනිශ්චයන්ගෙන් තොරවීම කරුණු වටහා ගැනීමට උදව් වෙයි කියල මට හිතෙනව)
pictures. from Pinterest

Leave a comment